හින්දු සංස්කෘතික අරමුදල පිහිටුවේ ඔවුන්ගේ ආගමික කාර්යයන් ඉදිරියට ගෙනයෑමට

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ ජීවත් වන හින්දු භක්තිකයන් සඳහා සමෘද්ධිමත් පරිසරයක් නිර්මාණය කර ඔවුන්ගේ ආගමික සහ ආධ්‍යාත්මික කාර්යයන් ඉදිරියට ගෙනයෑමේ අරමුණින් හින්දු සංස්කෘතික අරමුදල පිහිටුවා තිබෙන බවයි. මේ රටේ බුද්ධාගමට ප්‍රමුඛත්වය දෙන අතරම අනෙක් ආගම්වලට ද සමානව ගරුකරන බව පෙන්වා දෙන ඒ මහතා හින්දු, මුස්ලිම්, කතෝලික හා ක්‍රිස්තියානි ජනතාවට ඔවුන්ගේ ආගම ඇදහීමට ඇති අයිතියට කිසිඳු බාධාවක් නොමැති බවද ඔවුන්ගේ ආගම ඇදහීමේ අයිතිය සහතික කර තිබෙන බවද පෙන්වා දෙයි. ඊයේ (17) හින්දු සංස්කෘතික අරමුදල වෙනුවෙන් නව සාමාජිකයන් පත් කිරීම සඳහා අරලියගහ මන්දිරයේ දී පැවැති උත්සවය අමතමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා හින්දු සංස්කෘතික අරමුදල වෙනුවෙන් නව සාමාජිකයන් පත් කළ අතර 1985 අංක 31 දරන පාර්ලිමේන්තු පනත යටතේ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දිරිමත් කර ප්‍රවර්ධනය කිරීම සඳහා හින්දු සංස්කෘතික අරමුදල ස්ථාපිත කර තිබේ. මේ අරමුදලේ නව සභාපතිවරයා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පත්කර ඇති අතර හින්දු සංස්කෘතික අරමුදල ඒ මහතා ඇතුළු සාමාජිකයන් අට දෙනකුගෙන් යුතු පාලක මණ්ඩලයකින් සමන්විත වෙයි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා සහ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ. උමාමහේෂ්වරන් සහ සහකාර අධ්‍යක්ෂ කේ. හේමලොජිනි මහත්ම මහත්මීහු මේ අරමුදලට නිල බලයෙන් පත්වෙති. මෙයට අමතරව හිටපු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ශාන්ති නාවුක්කරසන් මහත්මිය, මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් දේවාලේ භාරකාර මණ්ඩලයේ සභාපති පී. සුන්දරලිංගම්, ජින්දුපිට්ටි ශ්‍රී සිවසුබ්රලමනියම් ස්වාමි දේවාලයේ භාරකාර මණ්ඩලයේ ලේකම් ජී.වී. සුබ්‍රමනියම්, ව්‍යවසායක දේශමාන්‍ය දුරේසාමි විග්නේශ්වරන් සහ ඒ.බී.‌ජෙයරාජ් මහත්ම මහත්මින් අගමැතිවරයා විසින් පත් කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා,

“රට ගොඩනගන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය’’ බොහෝ අභියෝග මධ්‍යයේ අද අපි ක්‍රියාත්මක කරමින් සිටිනවා. නීතිගරුක, සදාචාරාත්මක සමාජයක් නිර්මාණය කිරීම අපේ ප්‍රධාන අරමුණක්. ඒ අරමුණ ඉටු කර ගැනීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඵලදායී ලෙස ක්‍රියාකරමින් සිටිනවා. මේ සමාජයේ ජීවත්වන සෑම කෙනකුම ආධ්‍යාත්මිකව හා සදාචාරාත්මකව දියුණුවීම ඉතා වැදගත්. ඒ සඳහා පුද්ගලයකු අදහන ආගම මනා පිටිබලයක් සපයනවා. මේ රටේ බුද්ධාගමට ප්‍රමුඛත්වය දෙන අතරම අනෙක් ආගම්වලටත් අපි සමානව ගරු කරනවා. හින්දු, මුස්ලිම්, කතෝලික හා ක්‍රිස්තියානි ජනතාවට ඔවුන්ගේ ආගම ඇදහීමට ඇති අයිතියට කිසිදු බාධාවක් මේ රටේ නැහැ. ඔවුන්ගේ ආගම ඇදහීමේ අයිතිය අපි සහතික කර තිබෙනවා.

ඒ වගේම ව්‍යවස්ථාව තුළින් ද ආගමික සමගිය, සහජීවනය අපේ රටතුළ ස්ථාපිත වෙලා තියෙනවා. මෙවැනි අවස්ථාවක බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කටයුතු ශක්තිමත් කරන හින්දු සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරිත්වය ඉතා වැදගත්. හින්දු සංස්කෘතික අරමුදල ස්ථාපිත කරන්නේ 1985 අංක 31 දරන පාර්ලිමේන්තු පනත යටතේ. මෙය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ, ශ්‍රී ලංකාවේ ජීවත්වන හින්දු භක්තිකයන් සඳහා සමෘද්ධිමත් පරිසරයක් නිර්මාණය කර ඔවුන්ගේ ආගමික සහ ආධ්‍යාත්මික කාර්යයන් ඉදිරියට ගෙන යාමයි. ශ්‍රී ලංකාවේ හින්දු භක්තිකයන් මිලියන 2.5ක් පමණ ජීවත්වෙනවා.

ඔවුන්ගේ ආගමික සහ ආධ්‍යාත්මික කාර්යයන් වැඩිදියුණු කර ප්‍රවර්ධනය කිරීමේ වගකීම හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවටත් හින්දු සංස්කෘතික අරමුදලටත් පැවරී තිබෙන කාර්යයන් සහ වගකීම් විදියට අපට හඳුනාගන්න පුළුවන්. හින්දු සංස්කෘතික අරමුදල, තමන්ට පැවරිලා තිබෙන මේ කාර්යය නොපිරිහෙළා ඉටුකිරීම සඳහා සියලු දෙනාගේ සහයෝගයත් ලබාගෙන කටයුතු කිරීම ඉතා වැදගත්. අද ඔබ සියලු දෙනාට මේ පත්වීම් ලබාදෙන්නෙ මේ අරමුදලේ ක්‍රියාකාරකම් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්.

හින්දු දහම් පාසල්වල ක්‍රියාකාරකම් දිරිමත් කරමින්, ආධ්‍යාත්මික අතින් පොහොසත්, සදාචාරාත්මක තරුණ පරම්පරාවක් ගොඩනැගීමට ඔබ සියලුදෙනා නායකත්වය දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දුෂ්කර ප්‍රදේශවල හින්දු කෝවිල්වල කටයුතුවලට ප්‍රමුඛත්වය දෙමින් රටපුරා තිබෙන සියලු හින්දු කොවිල්වල අවශ්‍යතා සොයා බැලීමටත් කටයුතු කරන්න. එවැනි අවශ්‍යතා ඉටුකරමින් හින්දු සංස්කෘතික අරමුදලේ ඉලක්කය සපුරාගනිමින් යහපත් ශ්‍රී ලාංකේය සමාජයක් බිහිකිරීමට ක්‍රියාකිරීම ඔබගේ වගකීමක්. හින්දු සංස්කෘතික අරමුදල හරහා සුවිශේෂි සේවාවක් ඉටුකිරීම සඳහා හින්දු සංස්කෘතික අරමුදලේ සාමාජිකයන් වන ඔබ සැමට මම සුබ පතනවා යැයි පැවසීය. රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත, අගමැති ලේකම් ගාමිණි සෙනරත්, අගමැති කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, අගමැති හින්දු කටයුතු සම්බන්ධීකාරක රාමචන්ද්‍ර කුරුකල් බාබුෂර්මා, අගමැතිවරයාගේ සම්බන්ධීකාරක සෙන්තිල් තොන්ඩමන් මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය.

Related posts

Leave a Comment