ඔන්ලයින් චෙස් වංචාවකරොත් වසර දෙකක් ක්‍රීඩා තහනම්

ඔන්ලයින් චෙස් ක්‍රීඩාවේදී ලැප්ටොප් හා ඩෙස්ක් ටොප් පරිගණක හරහා පමණක් ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින්ට අවසරදී ඇති අතර වෙනත් උපාංගයක් හෝ උපකරණ ළඟ තබා ගැනීම තහනම් කරයි. සියලුම ක්‍රීඩාකල තරග සඳහා chess.com සහ අන්තර්ජාතික චෙස් සම්මේලනයේ වංචා – විරෝධී විශේෂ ඒකකයේ නිලධාරීන්ට විමර්ශනය කළ හැකි මෘදු කාංගයක් හරහා තරග නිරීක්ෂණය කෙරෙන අතර වංචා කිරීමක් හෝ වෙනත් නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් වැරදිකරු බවට පත්වන ඕනෑම ක්‍රීඩකයෙකුට ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් තරඟකාරී චෙස් ක්‍රීඩා කිරීම වසර 2ක් තහනමකට ලක් කරයි. ඉතිහාසයේම එවැනි එක් ක්‍රීඩකයෙකු හසුවී ඇති අතර ඔහුට වසර දෙකක තහනමක් ලබාදුන් බව චෙස් සම්මේලන ආරංචි මාර්ග පවසයි.

කොරෝනා අර්බුදය හමුවේ මේවන විට ඔන්ලයින් චෙස් ක්‍රීඩාව ලොව පුරා සිදුවන අතර ක්‍රීඩකයින්ට ඔවුන්ගේ සැබෑ නම සහ සැබෑ ඡායාරූපය සමඟ ඔවුන්ගේ chess.com ගිණුම් මගින් ප්‍රවේශ වන ලෙස උපදෙස් දී ඇති අතර විනිසුරු වරුන් විසින් ක්‍රීඩකයාගේ සජීවී දර්ශන ලබා ගැනීම සඳහා zoom තාක්ෂණය භාවිත කරයි. ශ්‍රී ලංකා ඔන්ලයින් අවුරුදු 16 න් පහළ බාලිකා යොවුන් වේගවත් චෙස් ශූරතාවලිය පෙරේදා නිමාවට පත්වූ අතර එහිදී ක්‍රීඩිකාවන් 4ක් ලකුණු 6ක් ලබා ගනිමින් ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ම පැමිණ තරඟාවලිය නිමා කළහ. කෙසේ වෙතත්, වඩා හොඳම සම ලකුණු බිඳ දැමීමේ නීතියට අනුව අම්බලන්ගොඩ ධර්මශෝක විද්‍යාලයේ එසදි නෙවන්සා ශූරිය බවට පත් වූවාය.

තරඟාවලිය පුරා ම එසදි කැපී පෙනෙන දස්කම් දැක්වූ ඇය පළමු දිනයේදී ඇය ලකුණු 4/4 ක් ලබාගත් අතර තරඟාවලියේ දෙවන දිනයේදී ඇය ලකුණු 2/3 ක් ලබා ගනිමින් කාන්තා ජාතික කණ්ඩායම් තරඟකාරියන් වන විචර්ලි ජාත්‍යන්තර පාසලේ අශ්විනි පවලචන්ද්‍රන් සහ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ දෙසදි ගමගේ පරාජයට පත් කළාය. තරුෂි සන්දීපනිට එරෙහිව ඇය පරාජයට පත් වූ අතර, ලකුණු 6/7 ක් ලෙස ශූරතාව දිනා ගැනීමට සමත් වූවාය. අනු ශූරතාව කලුතර ජේ.එම්.සී.ජාත්‍යන්තර විද්‍යාලයේ පියුමි අමරතුංග ලකුණු 6/7ක් ලබා ගනිමින් දිනා ගත්තාය. තරඟාවලියේ පළමු දිනයේ සියලුම තරඟ ජය ගැනීමෙන් පසුව, පියුමි අමරතුංග තරඟාවලියේ දෙවන දිනයේදී දෙසදිගමගේ ට පරාජය වූ නමුත් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ එච්. එම්. එම්. ඩී. හේරත් සහ අශ්වින් පවලචන්ද්‍රන් පරාජය කරමින් සිය ස්ථානය නැවත ලබා ගත්තාය.

ශූරියට කුසලානය හා රන් පදක්කම සහ සහතිකය පිරිනමන ලද අතර අනු ශූරතාවට හා තෙවැනි ස්ථානයට පිළිවෙලින් රිදී සහ ලෝකඩ පදක්කම් සමඟ සහතිකපත් පිරිනමන ලදී. සෙසු තරගකරුවන්ට සහතික නිකුත් කරයි. තරගාවලියට ක්‍රීඩිකාවන් 70ක් සහභාගීවූ අතර අවසන් වටයෙන් පසුව ඉහළම ශ්‍රේණිගත කිරීම් 10 අතරට පැමිණි ක්‍රීඩිකාවන් මෙසේය.

1.එසදි නෙවන්සා – අම්බලන්ගොඩ ධර්මශෝක විද්‍යාලය (ලකුණු 6)
2. පියුමි අමරතුංග – කලුතර ජේ.එම්.සී.ජාත්‍යන්තර විද්‍යාලය (ලකුණු 6)
3. දෙසදි ගමගේ – සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය (ලකුණු 6)
4. තරුෂි සන්දීපනි – දේවි බාලිකා විද්‍යාලය (ලකුණු 6)
5. ටෙනුලි රත්නායක – ආනන්ද බාලිකා විද්‍යාලය (ලකුණු 5.5)
6. අශ්විනී පවලචන්ද්‍රන් – විචර්ලි ජාත්‍යන්තර පාසල (ලකුණු 5)
7. ප්‍රශන්සා ප්‍රේමනාත් – මහනුවර උසස් බාලිකා විද්‍යාලය (ලකුණු 5)
8. නෙමින්දි රාමනායක – වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලය (ලකුණු 5)
9. ඔනෙලි විල්වලාරච්චි – ගෝතමී බාලිකා විද්‍යාලය (ලකුණු 5)
10. එච්. එම්. එම්. ඩී හේරත් – කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය (ලකුණු 5)

Related posts

Leave a Comment