රට හොරු

කුටුම්බය තුළ කොටුව හිඳින්න බල කරන වසංගත සමයක මානව සබඳතා අඩාළ වන අතර යම් විකාරරූපි ස්වරූපයක් ද නූසුලන්නේ ද? මිනිසා සහ මිනිසා අතර සබඳතා නොනැසී රැකගන්න තෙවැන්නකුගේ සහාය වුවමනා වනු ඇතැයි අපි අපේක්ෂා කළෙමු ද? එහෙත් සාමූහික ක්‍රියාකාරකම් නවතා දමන්න අණ කරන මාරාන්තික වයිරසය අබිමුව අපට පිහිට තාක්ෂණයමය. සන්නිවේදනය පහසු කළ දුරකතනය අද වන විට කොතෙක් දියුණු වී ඇත් දැයි කිව හොත් එහි හැඩය ද එයින් සිදු කෙරෙන කාර්යභාරය ද වෙනස්ය; විවිධය; විචිත්‍රය; එමෙන්ම අතිශය සංකීර්ණය.

සන්නිවේදන මෙවලමක් ලෙස පමණක් නොව ඔරලෝසුවක, කැලැන්ඩරයක, කැටපත් පවුරක, කැලෑ පත්තරයක කාර්යභාරය ද ඉටු කරන අතර හුදෙකලාව මකන යාළු මිත්‍රයකු සේම පල් හොරුන්ගේ පාරාදීසයක් ද සමාජ සත්කාරක සේවාව සපයන්නෙක් ද වෙයි. එමෙන්ම බාල ළමාවරුන්ගේ කෙළිබිම ද නොවන්නේ ද?

ගිලන්හල ද ගිමන්හල ද වන ජංගම දුරකතනයම දෙස් විදෙස් චෞරයන්ගේ තෝතැන්නකි. මිතුරු වෙසින් පැමිණ දුකසේ උපයන සොච්චම ඩැහැ ගන්නට මාන බලන ධවල චෞරයන් පිළිබඳ අපේ ලලනාවෝ දැනටමත් දැනුවත් වී ඇතැයි හඟිමි. ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොරව ගොදුරු සොයන මේ දඩයක්කාරයෝ මිත්‍රත්වයේ නාමයෙන්, මිත්‍රත්වය වෙනුවෙන් තෑගි බෝග පිරිනමන්න ඉක්මන් වෙති. ඒ ද එකක් නොවේ; ත්‍යාග කිහිපයකි. ඒ අතරේ මුදල් ද වේ. ඒවා දිනෙන් දින පල්ලම් බසින අපේ රුපියල් නොව ඩොලර් නෝට්ටුය. මේ නිර්ලෝභී හා ත්‍යාගශීලි විදෙස් මිතුරන් මුහුණුපොත ඔස්සේ හඳුනාගත් මිතුරා හෝ මිතුරිය ගෙන් ලිපිනය ලබා ගනී. ඉනික්බිති ඔහු අපට මිත්‍රත්වයෙන් මිල දී ගත් ත්‍යාගයන් හි ඡායාරූප ද දැකබලා ගන්නට සලස්වයි. ඒ වටිනා අලංකාර තෑගි උදෙසා අප කළ යුත්තේ අපේ විදෙස් මිතුරා හෝ ඔහුගේ ඒජන්ත වරයා ලබාදෙන ගිණුම් අංකයකට මුදලක් බැර කිරීම පමණකි. එය ලංකා මුදලින් රුපියල් 65000 සිට ඉහළටය. මේ සංවිධානාත්මක චෞර කල්ලියට රැවටී එපරිද්දෙන් මුදල් දුන් අය කොතෙකුත් සිටිතත් බොහෝ විට හෙළිදරවු නොකරති. පාඩුව විඳදරාගෙන නිහඩ වෙති. අනෙක් අතට අපේ ඇත්තෝ ද ඉතා පුදුමාකාරය! ලාභයක්, වාසියක්, වැඩි පොලියක් දෙන බවක් කී සැණින් ඕනෑම තක්කඩියකුට ඕනෑම මුදලක් දෙන්නට මැළි නොවෙති.

අධික පොලිය පතා ඇතැම් බැංකුවල මුදල් තැන්පත් කරන්න තරම් අදූරදර්ශ වීමෙන් ජීවිතය පවා අහිමි කරගත්, පිරමිඩ ජාවාරමට හසුව සබ්බ සේසතම විනාශ කරගත් අපේ ඇත්තන් මිත්‍රත්වයේ වේශය උසුලමින් ළං වන දෙස් විදෙස් හොරුනට පහසුවෙන් ගොදුරු කරගත හැකිය. ජෝන්, ඩේවිඩ්, ක්‍රිස්, මතියස් වැනි නම්වලින් පෙනී සිටිමින් මෙකී වංචාවෙහි නිරතව හිඳින්නවුන් තවත් කොතෙකුත් නම් භාවිතා කරනු ඇත්දැයි අප නොදන්නෙමු. ජීවිතය පහසු කරවන්නට අපම තනාගත් මෙවලම් හේතුකොටගෙන අපහසුතාවට පත් විය යුතු දැයි සිතා බලමු. තාක්ෂණය නැවුම් හා සත්කාරයන් උදෙසා භාවිතා කරන්නට තරම් නිර්මාණශීලි හා සංවේදි වෙමු.

Related posts

Leave a Comment