නිවසේ තබා ප‍්‍රතිකාර කිරීම ඉක්මන් කරන්න – GMO කියයි

කොවිඞ් වසංගත පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහීයෑම වළක්වා ගැනීමටත් ඉදිරියේදී මසකට මෙරට සිදුවිය හැකි විශාල මරණ සංඛ්‍යාව අවම කර ගැනීම සඳහාත් සංකූලතා නොමැති රෝගීන් නිවෙස්වල රඳවා ප‍්‍රතිකාර ලබාදීම වහාම ආරම්භ කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

මේ වනවිට මෙරට දෛනිකව කොවිඞ් මරණ සංඛ්‍යාව 20-30 ත් අතර පැවතීමෙන් මසකට මරණ 500 සීමාව ඉක්මවා යෑමක් නිසා සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි ද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා ‘‘දිවයින’‘ ට ඊයේ (17දා) පැවැසීය.

සංකූලතා හෝ නිධන්ගත රෝග නොමැති රෝගීන් නිවෙස් වල රඳවා තබා වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප‍්‍රතිකාර ලබාදීම හැකි ඉක්මනින් ආරම්භ නොකළහොත් රෝගීන් වැඩිවනවා සේම එය මෙරට සෞඛ්‍ය අංශයට දරාගත නොහැකි තත්ත්වයක් බව ද හෙතෙම පැවැසීය.

කොවිඞ් රෝගීන් නිවසේ තබා ප‍්‍රතිකාර ලබාදෙනවා සේම ඔවුන් සෞඛ්‍ය අංශ ග‍්‍රහණයට නතුකර ගැනීමත් සිදුකළ යුතු බව කී වෛද්‍ය නවින් ද සොයිසා මහතා එය මේ මොහොතේ විශාල අභියෝගයක් වුවත් එය නොකර සිටිය නොහැකි තත්ත්වයක් බව ද පැවැසීය.

මේ මොහොතේ කොවිඞ් අභියෝගය ජය ගැනීමට මහජන සහාය අත්‍යවශ්‍ය බව ද එය දිනාගැනීම සඳහා ඔවුන් තුළ විශ්වාසය ඇති කිරීමට සෞඛ්‍ය අංශ උපක‍්‍රමශීලී විය යුතු බව ද වෛද්‍ය නවින් ද සොයිසා මහතා පැවැසීය.

Related posts

Leave a Comment