වරාය නගර කෙටුම්පත සංශෝධනයට කැබිනට් අනුමැතිය

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇති කරුණුවලට අනුකූලව අවශ්‍ය සංශෝධන ඇතුළත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඊයේ (18) හිමිව තිබේ. රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරන ආකාරයට සරල බහුතරයකින් සම්මත කළ හැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත දැනුම්දී තිබුණි.

ඒ අනුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සරල බහුතරයකින් සම්මත කරගැනීම සඳහා අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවට හෙට (19) ඉදිරිපත් කිරීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීන්දු කළ බව රජයේ ආරංචි මාර්ගයක් ‘දිනමිණ‘ට හෙළි කළේය. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයකු නම් කිරීම, බහුතර සාමාජිකයන් ශ්‍රී ලාංකිකයන්වීම සහ වරාය නගරයේ වැඩිම රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට හිමිවීම යන කාරණා සම්බන්ධයෙන් සංශෝධන ඇතුළත් කිරීම කෙරෙහි මෙහිදී සාකච්ඡාවූ බවත් එම ආරංචි මාර්ගය ප්‍රකාශ කළේය.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත විවාදයට ගැනෙන අද (19) සහ හෙට (20) ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් සම්පූර්ණ කාලයම පාර්ලිමේන්තුවේ රැඳී සිටිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ සභානායකවරයා හරහා මන්ත්‍රීවරුන් දැනුවත් කළ යුතු බවත් මෙහිදී තීරණය කර තිබේ. අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, මහාචාර්ය ජී. එල්. පීරිස්, උදය ගම්මන්පිල, නාමල් රාජපක්ෂ මහත්වරු මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බවත් එම ආරංචි මාර්ගය වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

Leave a Comment