කොවිඩ් එන්නත දේශීයව නිපදවයි – කැබිනට් අනුමැතියත් හිමි වෙයි

කොවිඩ් 19 මර්දන එන්නතක් වන “සිනොවැක්” රාජ්‍ය මැදිහත් වීම සහිතව හැකි ඉක්මනින් දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඊයේ (18) හිමිව තිබේ. ඒ අනුව ඊට අදාළ ගිවිසුම් සකස් කර අත්සන් කිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිවරයාට බලය පැවරීමට අමාත්‍ය මණ්ඩලය තීන්දු කළ බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, චීනයේ සිනොවැක් බයෝටෙක් සමාගම සහ කෙලූෆ් ලයිෆ් සයන්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම සමඟ සහයෝගිතාව මැයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩලය හමුවේදී මෙසේ අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවට කොවිඩ් එන්නත් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වී ඇති නමුත් එන්නත සඳහා ගෝලීයව තිබෙන අධික ඉල්ලුම හේතුවෙන් නිෂ්පාදන සමාගම් සීමිත තොග සැපයීමට කටයුතු කරගෙන යනු ලබයි. එය මෙරට එන්නත්කරණ වැඩසටහනට බාධා එල්ල කරන්නක් බව රජය හඳුනාගෙන තිබේ. දැනටමත් ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙළට සමගාමීව රජය ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රජ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය ඇතිව කොවිඩ් මර්දන එන්නත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයට අවධානය යොමු කොට ඇති අතර දැනටමත් රුසියාවේ සහ චීනයේ සමාගම් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් ඇත.

සිනොවැක් එන්නතෙහි නිෂ්පාදකයන් වන සිනොවැක් බයෝටෙක් සමාගම ශ්‍රී ලංකාව සමඟ විශේෂයෙන් රාජ්‍ය මැදිහත්වීම සහිත ආයතන සමඟ එක්ව කටයුතු කිරීමට කැමැත්ත පළ කොට ඇති අතර පල්ලෙකැලේහි පිහිටුවා ඇති කෙලූන් ලයිෆ් සයන්ස් පුද්ගලික සමාගම මේ වන විටත් සිනොවැක් බයෝටෙක් සමාගම සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇත. රජයේ අවධානය යොමුව තිබෙන්නෙ එන්නත මෙරට නිෂ්පාදනය කිරීමේදී දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා නැවත මිලදී ගැනීමේ ගිවිසුමක් මඟින් රාජ්‍ය මැදිහත්වීමක් සිදුකිරීමටත්, අතිරික්තයක් වේ නම් එය අපනයනය කිරීමටත් යන කරුනු සදහාය.

Related posts

Leave a Comment