ක්‍රිකට් තරග පාවා දීමේ අල් ජසීරා හෙළිදරවුව පුස්සක්

මෙයට වසර දෙකකට පෙර අල් ජසීරා රූපවාහිනිය මගින් ප්‍රචාරය කළ මුදලට ක්‍රිකට් තරග පාවා දීම් සම්බන්ධ වාර්තා වැඩසටහන පුස්සක් බවට පත් කරමින් එම සිද්ධියට සෘජුවම සම්බන්ධ යැයි පැවැසූ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන තරිඳු මෙන්ඩිස් හා තරංග ඉන්දික ඇතුළු 5ක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිදොස් කොට නිදහස් කරයි. මෙම සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා එල්ල වූ පාකිස්තාන පළමු පෙළ ක්‍රීඩක හසන් රාසා, ඉන්දීය ක්‍රීඩක රොබින් මොරිස් හා ක්‍රිකට් තරග සංවිධායක ඩී – කොම්පැනි සම්බන්ධිකාරක අනිල් මුනාවර් මහත්වරු ද චෝදනාවලින් නිදහස් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත.

වසර 2018 මැයි මාසය වෙද්දී ගෙවී ගිය මාස 18 ක කාලයක් තුළ ක්‍රිකට් තරගවල සිදු වුණු මුදලට තරග පාවා දීම් ගැන වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කරමින් අල් ජසීරා රූපවාහිනිය චෝදනා කළේ ලොව පුරා පැවැත්වෙන ක්‍රිකට් තරග අතරින් සියයට 60ක් – සියයට 70ක් පමණ තරග මුදලට පාවා දීම් සිදුවන බවය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙම චෝදනා අන්තර්ජාතික ක්‍රිකට් දූෂණ මර්දන ඒකකයේ සිව් පුද්ගල කමිටුවකට යොමු කළ අතර, ඒ මගින් දීර්ඝ පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගත්තේය. එහිදී අල්ජසීරා වාර්තා වැඩ සටහන මගින් හෙළි කළ කරුණු සම්බන්ධයෙන් ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති හෙයින් චෝදනා එල්ලවූ හිටපු ක්‍රීඩකයන් නිදහස් කරන බව ඊයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

අල් ජසීරා රූපවාහිනිය විකාශය කළ මේ වැඩසටහන මුළු ලෝකයම බලාගෙන සිටි බැවින් චෝදනා එල්ල වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන තරිඳු මෙන්ඩිස් හා තරංග ඉන්දික තමන්ගේ කීර්ති නාමයට එල්ල වූ හානිය සම්බන්ධ කෝටි ගණනක වන්දි ඉල්ලා එම වැඩසටහන ප්‍රචාරය කළ ආයතනයට හා එම වැඩ සටහනේ නිෂ්පාදකට එරෙහිව නීති මගින් කටයුතු කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. ඒ සඳහා එම හිටපු ක්‍රීඩකයන් දෙදෙනා නීති උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇතැයි ද ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි. මෙම රූපවාහිනී වැඩසටහනට ඔවුන් හෝටල් කාමරයක් තුළ කතා කරන දර්ශන ද ඇතුළත් කොට තිබූ අතර, බුකි කරුවකු යැයි පැවැසූ අයකු හා මාධ්‍යවේදියකු යයි පැවැසූ අයකු ඇතුළු කිහිප දෙනකු ද එක්කොට ගෙන තිබිණි.

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරග දෙකක් බුකීකරුවන්ගේ වුවමනාව පරිදි තරග පාවාදීමකට ලක් කර ඇතැයි අල් ජසීරාව හෙළිදරවු කළ අතර, මෙහිදි බුකීකරුවන්ගේ වුවමනාව මත වසර 2016දී පැවැති ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගයේ තණතීරුව දඟ පන්දු යවන්නන්ට හිතකර ලෙස නිර්මාණය කිරීම සම්බන්ධව ගාල්ල ක්‍රීඩාංගණයේ සහකාර කළමණාකරු සහ තණතිලි භාර නිලධාරී තරංග ඉන්දික හට චෝදනා එල්ල විණි. මේ සඳහා මුම්බායී හී වෙසෙන රොබින් මොරිස් නැමැත්තකුද සම්බන්ධ බවට අල්ජසීරා වැඩ සටහනින් චෝදනා එල්ල කරනු ලැබිණි. ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැති ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේදී පිතිකරුවන්ට හිතකර ලෙස තණතීරුව වෙනස් කිරීම බුකීකරුවන්ගේ වුවමනාව මත සිදු කරන ලද්දක් බවත්, රොබින් මොරිස් නැමැත්තා සහ තරංග ඉන්දික යන අය සමඟ බුකීකරුවකු ලෙස වෙස් වළාගෙන පැමිණි අල් ජසීරා මාධ්‍යවේදියකු එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගය මුදලට පාවා දීම සම්බන්ධව සාකාච්ඡා පවත්වා ඇති බවත්, තරංග ඉන්දික ඒ සඳහා කැමැත්ත පළ කළ බවත් අල් ජසීරා වැඩ සටහනින් ප්‍රචාරය කෙරිණි.

මෙම චෝදනා එල්ල වූ වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරිඳු මෙන්ඩිස් හා තරංග ඉන්දිකට තාවකාලික තරග තහනමක් පැනවීමට කටයුතු කළේය. එම තාවකාලික තහනම රූපවාහිනී ආයතනයේ හෙළිදරවුව පිළිගෙන නොවන බවත්, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පරීක්ෂණවලට සහය දීමක් සඳහා පමණක් බවත් එවක හිටපු ක්‍රිකට් නිලධාරීහු පවසා සිටියහ.

Related posts

Leave a Comment