රැඳවුම් නියෝගය බල රහිත කරන්නැයි බදියුදීන්ගෙන් පෙත්සමක්

  • මූලික අයිතිවාසිකම් කැඩුවැයි කෝටි පන්සීයක වන්දියකුත් ඉල්ලයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ පාස්කු ඉරුදින ප්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් තමන් රඳවා තබා ගැනීමට ගෙන ඇති රැඳවුම් නියෝගය බල රහිත කර, වහාම මුදාහරින නියෝගයක් නිකුත් ලෙස ඉල්ලමිනි. මෙම ත්‍රස්ත ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නැති තමා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් කෝටි පන්සියයක වන්දි මුදලක් ගෙවන ලෙස වගකිව යුත්තන්ට නියම කරන ලෙස ද ඔහු පෙත්සම මගින් ඉල්ලා ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය 111හි ස්ථානාධිපති, එම දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති, එහි අධ්‍යක්ෂ, එහි නියෝජ්‍ය පොලිස්පති, පොලිස්පති සහ නීතිපති මෙහි වගඋත්තරකරුවෝ වෙති. නීතිඥ ගෞරි සංගරී තවරාසා මහත්මිය මගින් මෙම පෙත්සම් ගොනු කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන තමන් මෙන්ම සිය සොහොයුරාද පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන මුදාහැර සිටි බව පෙත්සම්කරු කියයි.

ඒ සම්බන්ධයෙන් මුස්ලිම් විරෝධීන්ගේ විරෝධතා එල්ල වූ බව ද සඳහන් වේ. එසේ තිබියදී ඉකුත් අප්‍රේල් මස 24 වැනිදා නිවසේ සිටියදී තමා අත්අඩංගුවට ගත් බවත්, පසුව සිය සොහොයුරා වන රියාජ් බදියුදීන්ද අත්අඩංගුවට ගත් බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත. එසේ අත්අඩංගුවට ගත් තමා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝගයක් ලබා ගෙන ඇති බවත් එය නීතිවිරෝධී බවත් පෙත්සම්කරු පවසයි. මෙම පාස්කු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සිදු කළ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් නමැත්තා සමඟ තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බව පෙත්සම්කරු කියයි. මෙලෙස රැඳවුම් නියෝග මත තමා තබා ගැනීම නිසා රාමසාන් උපවාස කාලය ද තමන්ට අහිමි වූ බව ඔහු සඳහන් කර තිබේ.

මෙලෙස නීතිවිරෝධී ලෙස සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1),12(2,)13(1),13(2) විධිවිධානවලින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීරණය කරන ලෙස පෙත්සම් මගින් ඉල්ලා ඇත. එසේම තමන් වහාම මුදාහරින ලෙස වගඋත්තරකරුවන්ට නියම කරන ලෙස ද පෙත්සම්කරු ඉල්ලා ඇත.

Related posts

Leave a Comment