රටටම නිදහස ගෙන දුන් මානුෂීය මෙහෙයුම

  • නැඟෙනහිර මෙහෙයුම්වලින් උද්දාමයට පත් හමුදා නිලධාරීන් මෙන්ම හමුදා භටයන් සියල්ලන්ම උතුර හා වන්නිය දෙසට හැරීමට කටයුතු කළේ එම ධෛර්යයත් සමඟය. ඒ අනූව නැඟෙනහිර මෙහෙයුම සිදු වන විටදීම වන්නිය හා උතුර මුදාගැනීමට ද සේනාංක කිහිපයක් යෙදවීමට කටයුතු කෙරුණි.

මානවයා ශිෂ්ටාචාර ගොඩනඟමින් ක්‍රම ක්‍රමයෙන් දියුණු ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමේදී තම වර්ගයාගේ හා ශිෂ්ටාචාරයේ ආරක්ෂාව සඳහා පුහුණු පූර්ණකාලීන ආරක්ෂකයන් යොදා ගනිමින් ආරක්ෂක සේවාව වෘත්තීමය තත්ත්වයකට පත් කර ගැනීමට කටයුතු කර ඇති ආකාරයක් පැරැණි ශිෂ්ටාචාර පිළිබඳ අධ්‍යයනයෙන් අනාවරණය කර ගත හැකිය. ඒ අනුව ඉතා ඈත අතීතයේ සිට ආරක්ෂක සේවාවන් වාත්තීයක් ලෙස සංවිධානගතව වර්තමානයේ ඉතා දියුණු තාක්ෂණික මෙවලම්, යුද උපකරණ හා යුධෝපක්‍රම භාවිත කරන තත්ත්වයට පත්ව ඇත. යුද්ධයේදී තම වර්ගයාගේ හා ශිෂ්ටාචාරයේ පැවැත්ම වෙනුවෙන් ලබන වැටුපට සීමා නොවී කටයුතු කරන ආරක්ෂක සේවාවන්හි නියුක්ත වූවන් ඉතා අතීතයේ පමණක් නොව වර්තමානයේ ද වීරත්වය ඔසවා තැබීමටත් ඔවුන්ගේ යැපෙන්නන් සුරක්ෂිතව රැක බලා ගැනීමටත් දියුණු ශිෂ්ට සම්පන්න ජාතීන් කටයුතු කර ඇත.

වර්තමානය වන විට ලෝක භූ දේශපාලනික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට බලවත් ජාතින් ත්‍රස්තවාදය, සිවිල් අරගල හා ගරිල්ලා සටන් උපයෝගි කරගෙන ඇත. එලෙස මිනිසා විසින් නිර්මාණය කර ඇති යුද ගැටුම් මානවයා බිහිසුණු ව්‍යවසනයකට හසු කිරීමට සමත්ව ඇත. ජාතියක් ලෙස ශ්‍රී ලංකාවට ද දශක තුනකට ආසන්න කාලයක් උතුරු නැඟෙනහිර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ ලොව බිහිසුණුම ත්‍රස්තවාදී උවදුරකට මුහුණ දීමට සිදු විය. එහිදී ආරක්ෂක අංශ සාමාජිකයින් හුදු වැටුප අරමුණු කර ගත් වෘත්තීමය එළඹුමකට එහා ගොස් රාජ්‍ය හා රටවැසියන්ගේ ආරක්ෂාව හා ජාතියේ හෙට දවස වෙනුවෙන් ජීවිත හා ශරීරාංග පරිත්‍යාගයෙන් කටයුතු කර තිබේ.

  • යුද ජයග්‍රහණයේ සතුට

මීට වසර දොළහකට පමණ පෙර මැයි මස 19 වැනිදා දිනෙක මේ පුංචි රටේ මිනිස්සු සතුටු කදුළු වඟුරුවමින් ඔල්වරසන් නැඟූහ. අත්පුඩි ගැසූහ. හැම තැනකම රතිඤ්ඤා පත්තු කළහ. ගමක් නගරයක් ගානේ කිරි බත් පිසිමින් යුද ජයග්‍රහණයේ සතුට බෙදා ගත්හ. මනුස්සකම් ගුණදහම් හඳුනන ශ්‍රී ලංකාවේ මළගමක් වෙනුවෙන් කිරි බතක් පිසුවේ නම් ඒ 2009 වසරේ මැයි මස 19 වැනිදාය. ඒ වසර තිහකට ආසන්න කාලයක් අප රට පීඩාවට පත් කළ දරුණු ත්‍රස්තවාදයේ මළගම වෙනුවෙනි. ඊළාම් සිහිනය වෙනුවෙන් මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකර අසරණ මිනිසුන්ගේ ජීවිත පිපාසිතව මෙන් ඝාතන සිදු කළ ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ ත්‍රස්ත නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මරණයට පත් කරමින් අපගේ වීරෝධාර රණවිරුවන් ත්‍රස්තවාදයෙන් මවුබිම මුදා ගන්නේ මීට දොළොස් වසරකට පෙරය.

පළමු ඊළාම් යුද්ධය 1983 සිට 1989 දක්වා ක්‍රියාත්මක විය. ආරම්භයේ දී මධ්‍යස්ථ දෙමළ දේශපාලනඥයින් හා පොලිස් ඔත්තුකරුවන් ඉලක්ක බවට පත්විය. 1984 සිට උතුරු නැඟෙනහිර පළාතේ සිංහල ජනපදිකයන් සමූල ඝාතනය කිරීම අරඹන අතර ඊට අමතරව කොළඹ, අනුරාධපුරය ආදී ප්‍රදේශ ඉලක්ක කොටගෙන ත්‍රස්තවාදීන් ක්‍රියාත්මක විය. 1975 ජූලි 27 වන දින ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා ඝාතනය කිරීමත් සමඟ පළමු ඊළාම් යුද්ධය ආරම්භ විය. 1978 එල්ටීටීඊ හා ටෙලෝ කණ්ඩයම් දෙකම යාපනයේ පොලිස් නිලධාරීන් හා ඔත්තුකරුවන් ඝාතනය නොනවත්වාම සිදු කරන ලදී. පළමුවැනි ඊළාම් යුද්ධය කෙමෙන් කෙමෙන් වර්ධනය වූ අතර කොළඹ තුළ ත්‍රස්තවාදී ක්‍රියා ඇති කරන තත්ත්වයට පත් විය. 1981 ජුනි 01 වැනි දින යාපනය පුස්තකාලයට ගිනි තබා විනාශ කරන ලද අතර 1982 ජුනි 05 වනි දින යාපනය කොළඹ තැපැල් දුම්රියේ බෝම්බයක් පිපිරීමෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු මිය ගියහ. 1982 ජූලි 02 වැනි දින යාපනයේ නෙල්ලිඅඩිහිදී ත්‍රස්තවාදීන් පොලිස් ජංගම මුර රථයකට වෙඩි තබා සිව්දෙනෙක් මිය ගියහ. 1982 ඔක්තෝබර් 27 වැනි දින චාවකච්චේරි පොලීසියට එල්ටීටීඊ ප්‍රහාරයක් එල්ල විය. 1983 ජූලි 06 වැනි දින කන්කසන්තුරේ සිමෙන්ති කම්හලට ද ප්‍රහාරයක් එල්ල විය.

එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ එකම අරමුණ වූයේ ඊළාම් රාජ්‍යයක් පිහිටුවා ගැනීම මිස අහිංසක දමිළ ජනතාවගේ ජීවිත සුඛිත මුදිත තත්ත්වයට පත් කිරීම නොවේ. ඔහුට කිසිවිටෙකත් සිංහල, දමිළ සහ මුස්ලිම් ජනතාව සමඟ සමඟියෙන් ජීවත් වීමට අවශ්‍ය වූයේ ද නැත. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස, ගාමිණී දිසානායක, හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිර්ගාමර් මහත්වරු ඝාතනය කිරීම, ඩග්ලස් දේවානන්දා මහතා ඝාතනයට සැලසුම් කිරීම මෙලෙස ඇරඹි ඊළාම් ත්‍රස්තවාදයේ තවත් පියවරයන් විය. එමෙන්ම ලෝවැසි බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන් මහනුවර ශ්‍රී දළදා මාළිගයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම, ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස වෙඩි තැබීම, කාත්තන්කුඩි මුස්ලිම් දේවස්ථානයේ යාඥා කරමින් සිටි මුස්ලිම් ජාතිකයන් 173ක් ඝාතනය ත්‍රස්ත ක්‍රියාකාරකම් අතර විය. ඊට අමතරව සාමාන්‍ය සිංහල ජනතාව ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද ඝාතන මෙන්ම, බෝම්බ ප්‍රහාර ප්‍රමාණය ද අති විශාලය.

  • මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර

ඒ අතර පිටකොටුවේ, මරදානේ මෙන්ම නුගේගොඩ පිපිරවූ බෝම්බ බොහෝ දෙනාගේ මතකයේ නොමැකී තැන්පත්ව ඇත. අහිංසක ජනතාව ඉලක්ක කර ගනිමින් එදා බස්රථ, දුම්රිය ආදියෙහි ද බෝම්බ පිපිරුණි. තම දරුවන් පාසල් සහ උපකාරක පන්ති ගොස් නැවත නිවෙස්වලට පැමිණෙන තෙක් මඟ බලා සිටිනා මවුපියන්ගේ මෙන්ම මවුපියන් රැකියාවලට ගොස් පැමිණෙන තෙක් බලා සිටිනා දරුවන්ගේ ද සිත් තුළ එදා ඇවිළෙන්නට ඇත්තේ එක සමාන වූ භීතියේ ගිනිදැල්ය. මේ අතර යාල්දේවී දුම්රිය කොකාවිල් හිදී බැරල් බෝම්බ 11ක් අටවා පුපුරවා හරිමින් 34 දෙනෙකු ඝාතනය කිරීම, වේයන්ගොඩ දී දුම්රිය මැදිරියක් පුපුරවා හැරීම, අලුත්ගම කාර්යාල දුම්රියක බෝම්බ අටවා 75 දෙනෙකු ඝාතනය කිරීම, නාවික හමුදා සෙබළුන් ඉලක්ක කොට බස් රථ පෙළකට දිගම්පතන ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම ආදී මහ පොළොව නුහුලන අපරාධ රැසක් මෙම ම්ලේච්ඡ ත්‍රස්ත සංවිධානය විසින් සිදු කෙරුණි. එවකට මෙම ම්ලේච්ඡ ත්‍රස්තවාදී නායකයාට විරුද්ධව කතා කිරීමට දමිළ ජාතිකයන් පවා බිය වූයේ ඔහුගේ එකම දඬුවම මරණය වූ නිසාවෙනි. එහෙත් අපගේ ආරක්ෂක හමුදාවේ ක්‍රියා කලාපය මීට හාත්පසින්ම වෙනස් එකක් වීම විශේෂත්වයකි.

එනම් මානුෂීය ගුණාංගවලින් අනූන වූ මානුෂීය මෙහෙයුම පිළිබඳව අවසන් සටනේදී මුළු ලෝකයම හමුවේ ප්‍රත්‍යක්ෂ විය. උතුරේදී ත්‍රස්තවාදී පාලන ප්‍රදේශවලින් පැන ජීවිතය යදිමින් එන දමිළ ජනතාවට විශ්වාසනීයත්වයෙන් යුතුව මානුෂීයව පුදසත්කාර කිරීමට අපගේ හමුදාව නොපසුබටව ඉදිරිපත් විය. තමන්ගේ බත් පත පුදමින් ඔවුන්ගේ කුසගිනි නිවන්නටත්, තම දිවි පරදුවට තබමින් ඔවුන් හට ප්‍රතිකාර කරන්නටත් අපගේ විරුවන් මැළි නොවීය. මෙම ත්‍රස්ත සටන් ඇවිළෙන සමයෙහි උතුරේ පමණක් නොව රටෙහි සෑම තැනකටම පාහේ එම ඇවිළෙන සටන් ගින්නෙහි රස්නය හොද හැටි දැනුණි. රටේ අගනගරය වන කොළඹට ද එලෙසම යුදගිනි දැල්ලෙහි සැර දැනුණි. එදා විටෙක රාත්‍රියෙහි මුළු කොළඹම විදුලිය විසන්ධි වන්නේ කොටි ත්‍රස්තවාදීන්ගේ සැහැල්ලු ගුවන් යානයක් කොළඹ අහස ආක්‍රමණය කිරීම නිසාය. එවිට කළුවර වූ මුළු කොළඹ අහස සිසාරා සැණින් සුපරීක්ෂාකාරී එළි (සර්ච් ලයිට්) දිවෙයි. තවත් මොහොතකින් රක්ත වර්ණ එළි විහිදුවමින් ක්‍රියාකාරී වන්නේ ගුවන් ආරක්ෂක පද්ධතියයි. එලෙස විහිදුණු වෙඩි උණ්ඩවල කොපු පසුදා අලුයම කොළඹ පොළොවෙහි දර්ශනය වෙයි.

  • මාවිල්ආරු සොරොව්ව වසා දැමීම

උතුරේ අසරණ ජනතාවගේ සිතෙහි උපදින භීතියට සමාන හැඟීමක් අගනුවර වැසියන්ගේ ද සිත්හි පැළපදියම් වන්නේ එකම රටක වැසියන්ගේ සමානාත්මතාවය පසක් කරමිනි. ත්‍රස්තවාදීන් සැම විටම තම පළිහ කර ගත්තේ සාමාන්‍ය ජනතාවය. ඒ හේතුවෙන් ඔවුන් බොහෝ විට සිංහල හා මුස්ලිම් ගම්මාන ඉලක්ක කර තම ප්‍රහාර එල්ල කළේය. සටන් විරාම ගිවිසුමට මුවා වී එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන් විසින් 2002 වසරේ සිට තැනින් තැන කුඩා යුද ප්‍රහාර එල්ල කළත්, මහා පරිමාණ ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව වෙත සටනක් සඳහා අනුබල ලබා දෙන්නේ මාවිල්ආරු සොරොව්ව වසා දැමීමෙන් අනතුරුවයි. මාවිල්ආරු සොරොව්ව වසා දැමීමට ප්‍රථමව යුද හමුදා නායකත්වය දුර්වල කිරීම උදෙසා එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය විසින් 2006 අප්‍රේල් මස 25 වන දා එවකට යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් යුද හමුදාපතිවරයා බරපතළ තුවාල ලැබීය. නායකත්වය තවදුරටත් දුර්වල කිරීම උදෙසා 2006 ජුනි 26 වැනි දා එවකට ශ්‍රී ලංකා යුද හමුදාවේ තෙවැනියා වූ නියෝජ්‍ය මාණ්‌ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් පාරමී කුලතුංගට පන්නිපිටියේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කෙරිණි.

ඉන් අනතුරුව නැඟෙනහිර ප්‍රදේශයේ 30,000ක් පමණ සිංහල, දමිළ හා මුස්ලිම් ජනතාවට හා වගාවට ඇති ජලය ඇපයට තබා ගනිමින් 2006 ජූනි 21 වන දින ඇල්ල මහා ව්‍යාපෘතියට අයත් අක්කර 22,000 ක වපසරියක් ඇති මාවිල්ආරු ජලාශයේ සොරොව්ව වසා දැමීම හේතුවෙන් කුඹුරු අක්කර 30,000ක් පමණ ජලය නොමැතිකමින් කර්කශභාවයට පත් විය. මෙලෙස ත්‍රස්තයන් විසින් මාවිල්ආරුවේ ජලය ඇපයට තැබූ පළමු අවස්ථාව මෙය නොවන අතර 1991 ජනවාරි 30 වැනි දා ද ඔවුන් මෙම සොරොව්වේ දොරටු තුනක් පුපුරවා හැර ජලය ලබා ගැනීමට බාධා එල්ල කළේය. ජලය නොමැතිකමින් පිඩාවට පත් ජනයාගේ අයිතිය සුරැකීම උදෙසා මාවිල්ආරු සටන ආරම්භ කරන්නට යුද හමුදාවේ භට පිරිස් යුද්ධය සඳහා අවතීරණය වන අතර, ගුවන් හමුදාව විසින් ත්‍රස්ත ඉලක්ක වෙත ජූලි 26 වන දා දැඩි ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ පාබල හමුදාව 28 වන දා සිට තම ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට ඇදුනේය. මාවිල් ආරු සටනේදී කොටි ත්‍රස්තයන්ට අන්ත පරාජයක් අත් කර දෙමින් ආරක්ෂක හමුදාව විසින් 2006 අගෝස්තු 15 වන දා වන විට සම්පුරණයෙන් එහි බලය තහවුරු කර ගන්නා අතර ජනතාව වෙනුවෙන් දියවර මුදාහැරීම ද සිදුකළේය.

ඉන් ඇරඹි මානුෂීය මෙහෙයුම ඉතාමත් තීරණාත්මක විය. මෙලෙස ආරම්භ කළ යුද්ධයේදි පෙනුණු දෙයක් නම් ලංකාව මහා පරිමාණ සිවිල් යුද්ධයකට ගමන් කරවීමේ මංසලකුණු සටහන් කළ බවය. මේ වන විට ආණ්ඩුවේ අරමුණු දෙකක් පැහැදිලිය. එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කර එහි යුද ශක්තීන් විනාශ කර ද්‍රවිඩ ජාතිකවාදී ව්‍යාපෘතියේ නියෝජිතයකු හැටියට එල්ටීටීඊය නැති කිරීමය. දෙවැන්න සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට නොහැකි වුවත් ශ්‍රී ලංකාවේ රාජ්‍යයට තවදුරටත් තර්ජනයක් නොවන පරිදි එල්ටීටීඊය යුද හා දේශපාලන වශයෙන් දුර්වල කිරීමය. මෙකී අරමුණු ඇතිව ආරම්භ වූ යුද්ධයේදී ආණ්ඩුව විශ්වාස කළ දෙයක් වූයේ අතීතයේ ද එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමට සන්නද්ධ හමුදාවන්ට හැකියාවක් තිබුණ ද කරුණු කිහිපයක් නිසා ඒ අවස්ථාව වැළකී ගිය බවය. යුද්ධය සැලසුම් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුවේ බලයේ සිටින දේශපාලඥයින් ඒවාට මැදිහත් වී යුද ක්‍රියාමාර්ග දේශපාලන න්‍යාය පත්‍රයන්ට යටත් කර අවුල් කිරීම, යුදමය විසඳුම් ක්‍රියාමාර්ගයෙන් ඉවත් වන ලෙස කෙරුණු අන්තර්ජාතික බලපෑම්වලට ආණ්ඩුව යටවීම, යුද්ධයේදී සිදුවන මානව අයිතිවාසිකම් යුද්ධයේ බිහිසුණු බව කඩකිරීම් හා මනුෂිකවාදී ගැටලු ගැන අනවශ්‍ය ලෙස වැදගත්කමක් දීම මඟින් යුද මෙ‍ෙහයුම් දුර්වල කිරීම ආදිය ඒ අතර විය.

  • මූලෝපායන් සකස් කිරීම

මේ නිසා රාජපක්ෂ ආණඩුව එල්ටීටීඊයට විරුද්ධව යුද්ධය සැලසුම් කිරීමේදී මූලෝපායන් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීමේ වගකීම හා ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම ආරක්ෂක අමාත්‍යංශයටත් සන්නද්ධ හමුදා ප්‍රධානීන්ටත් භාර දුන්නේය. මේ තත්ත්වය තුළ එල්ටීටීඊය කල්පනා කළේ යුද්ධය දිග්ගැස්සෙන විට එයින් ඇති වන මානව අයිතිවාසිකම් කඩවීම් හා මානුෂවාදී අර්බුද හේතුවෙන් ආණ්ඩුව අන්තර්ජාතික වශයෙන් හුදෙකලා විය හැකි බවත් යුද්ධයේ ආර්ථික පිරිවැය වැඩිවීමත් සමඟ ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරෙන විට ආර්ථිකයට හානි පැමිණ ආණ්ඩුවේ මහජන සහයෝගීතා පදනම අඩු වී යුද්ධය ආර්ථික වශයෙන් නඩත්තු කිරීමට ආණ්ඩුවට නොහැකි වන බවත්ය. එපමණක් නොව ආර්ථිකයට හානි පමුණුවන නීතියේ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය දුබල කරන යුද්ධයක පසුබිම තුළ දකුණේ දේශපාලන ප්‍රතිවිරෝධතා ඇති වීමත් සමඟ යුද්ධය පවත්වාගෙන යෑම ආණ්ඩුවට දුෂ්කර වෙද්දී නව බල තුලනයන් ගොඩනැඟීමට මූලෝපායික ඉඩකඩ තමාට උදාවේය යන්න ද ත්‍රස්තවාදීහු විශ්වාස කළහ. නමුත් 2006 අවසානයේදී නැඟෙනහිර පළාත තුළ කෙරුණු යුද්ධයේදී නැඟෙනහිර පළාත පහසුවෙන් ජය ගැනීමට එවකට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවට හැකි විය.

ත්‍රස්තවාදීන්ගේ කුරිරු ක්‍රියාවන්හි අවසානයක් දැකීම අවශ්‍ය වූ හෙයින් මානුෂීය මෙහෙයුමක් ආරම්භ කරන්නට එවකට සේනාධිනායකයා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු නායකත්වය ගෙන ක්‍රියාකළහ. ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අවසන් සටනට අවශ්‍ය පසුබිම සකස් කෙරිණි. සියලු ජාතීන්ට සමඟිව විසීමේ පරිසරයක් ලංකාව තුළ ඇති කිරීමේ අරමුණින් අවසන් සටන එසේ අරඹන ලද අතර ත්‍රස්තවාදීන්ගේ සියලු බළකොටු බිඳ හෙළමින් ආරම්භ කළ අවසන් මානුෂීය මෙහෙයුම මැයි මාසයේ මැද භාගය වන විට පැහැදිලි පරාජයක් එල්ටීටීයට උරුම වන බව පෙනේනට විය. 2007 වසරේදී කොටි ත්‍රස්තවාදීන්ගේ බලය නැඟෙනහිරින් ගිලිහී යෑමත් සමඟ ප්‍රභාකරන් වහසි බස් දොඩන්නට වූයේ ශ්‍රී ලංකා හමුදාවට වන්නියට ඇතුළු වීමට කිසිසේත් ඉඩ නොදෙන බවටය. අලිමංකඩ හා මුලතිවු පරාජයන් මතක නම් ශ්‍රී ලංකා හමුදාව වන්නිය හෝ උතුර දෙසවත් නොබලනු ඇතැයි ඔහු බීබීසී ගුවන්විදුලියට ප්‍රකාශයක් ලබා දී තිබුණි. ඒ සඳහා උඩගෙඩි දෙන්නට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම ඇතැම් රාජ්‍යයන් ද ඇතැම් දේශපාලන නායකයෝ ද කටයුතු කළහ.

නැඟෙනහිර මෙහෙයුම්වලින් උද්දාමයට පත් හමුදා නිලධාරීන් මෙන්ම හමුදා භටයන් සියල්ලන්ම උතුර හා වන්නිය දෙසට හැරීමට කටයුතු කළේ එම ධෛර්යයත් සමඟය. ඒ අනූව නැඟෙනහිර මෙහෙයුම සිදු වන විටදීම වන්නිය හා උතුර මුදාගැනීමට ද සේනාංක කිහිපයක් යෙදවීමට කටයුතු කෙරුණි. එවකට ආරක්ෂක ලේකම්ව සිටි වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙන්ම එවකට ජනාධිපතිව සිටි වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන්, නිසි මඟපෙන්වීමෙන් සහ එඩිතර තීරණ හමුවේ සටනේ ජයග්‍රහණ ශක්තිය තව තවත් තහවුරු විය. ත්‍රිවිධ හමුදාපතිවරුන්, බ්‍රිගේඩියර්වරුන්, සේනාංක ප්‍රධානීන් මෙන්ම වීරෝධාර රණවිරුවන් මහා සටනේ පෙරගමන්කරුවන් ලෙස ජයග්‍රහණය කරා යෑමට යෝධ බල යෝධ ශක්තියක් සැපයීය. මෙලෙස දිගින් දිගටම මෙහෙයුම් දියත් කරමින් අපගේ ඒඩිතර හමුදාවෝ නොපසුබටව ඉදිරියටම ගියහ.

  • අවසන් මෙහෙයුම

2009 වසරේ මැයි මස 15 වැනිදා වන විට එල්.ටී.ටී.ඊ ත්‍රස්තයෝ මුලතිව් දිස්ත්‍රික්කයේ වඩ්ඩුවාකල් පාලම අවට කොටු වූහ. ඒ වන විට ඔවුහු සිවිල් ජනතාව පවුරක් සේ වටේට තබාගෙන සිටියහ. එයින් පැන යන්නට උත්සාහ කළ අයට වෙඩි තැබූහ. එහෙත් නන්දිකඩාල් කලපුව හරහා සිවිල් වැසියෝ හමුදා පාලන ප්‍රදේශ කරා පැමිණියහ. පරාජය උරුම වූ ත්‍රස්තයෝ කර කියාගත නොහැකිව අතරමං වූහ. එහෙත් තවදුරටත් සටන් කරන්නට උත්සාහ කළ පිරිස් ද වූහ. මැයි 18 වැනිදා වන විට යුද්ධය අවසන් වූ බව ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනය කෙරිණි.

පසුව මැයි මස 18 වැනිදා අවසන් මෙහෙයුම සිදු වූ අතර ප්‍රභාකරන්ගේ සිරුර සොයා ගන්නා ලද්දේ මැයි මස 19 වැනිදාය. ප්‍රභාකරන්ගේ සිරුර දුටු හමුදා භටයෝ තම තුවක්කුවල ඇති පතුරම් වැල් අවසන් වන තෙක් අහසට වෙඩි තබන්නට වූයේ පරාජය කළ නොහැකි යැයි පැවසූ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමේ උද්දාමයෙනි. ත්‍රස්තවාදය අවසන් කිරීමට ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකායේ 27937 කගේ ජීවිත පූජාකර තිබෙන අතර 20242 පිරිසක් මේ වන තෙක් ආබාධිත තත්ත්වයට පත්ව සිටිති. මේ සටනේදී එල්ටීටීඊ සටන්කාමීන් ද 28,000කට අධික පිරිසක් මිය ගොස් 27,639ක් ආබාධිතව තිබේ. මේ සියල්ල රටේ සංවර්ධනයට යොමු කළ හැකි ජීවිත බව නොරහසකි.

මානුෂීය මෙහෙයුම් මෙවැනි ආකාරයක යුද්ධයක ස්වරූපයෙන් මෙන්ම තවත් විටෙක පීඩාවට පත්ව සිටින ජනතාව එයින් මුදා ගැනීමේ ස්වරූපයෙන් ක්‍රියාත්මක විය හැකිය. ත්‍රස්තවාදයක්, ගංවතුරක් හෝ වසංගතයක් වේවා, සෑම ආපදා අවස්ථාවකම ත්‍රිවිධ හමුදාව පොදු මහජනතාව සුරකිමින් පෙරමුණේ සිටින බව සියල්ලෝම දනිති. එවැනි සේවාවක් සිදු කරන ත්‍රිවිධ හමුදාව අපේ සමාජය තුළ ‘සිවිල්’ හා ‘මිලිටරි’ වශයෙන් කෘත්‍රිම භේදයක් ඇති කිරීමට ඇතැම් දේශපාලන පක්ෂ දුෂ්ඨ උත්සාහයක නිරත වෙමින් සිටින බව පෙනේ. කෙසේ වුවද මෑත කාලය ගත් විට ජල ගැලීම්, විවිධ ව්‍යසනකාරී තත්ත්වයන් මෙන්ම වත්මන් කොරෝනා වසංගත තත්ත්වය තුළ රණවිරුවන් ඉටු කරන මෙහෙය සම්බන්ධයෙන් අමුතුවෙන් කිව යුතු නැත. එය ද සැබවින්ම මානුෂීය ක්‍රියාදාමයකි. දහස් ගණනින් රණවිරුන් තම උපරිම දායකත්වය රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් සෑම අවස්ථාවක ලබා දෙමින් සිටී. මෙය සැබවින්ම රටට වාසනාවකි. ජාතියට ආඩම්බරයකි.

එක් අයකුගේ හෝ දෙදෙනකුගේ අවශ්‍යතාවකට රටේ මහා ධන සම්පතක් විනාශ කළ කුරිරු යුද්ධය අවසන් වූයේ රට සංවර්ධනයට අලුත් මාවතක් විවර කරමිනි. එම නිදහස උදා වී මේ වසරට අප වසර 12ක් ගෙවා තිබේ. ඒ නිදහස වඩාත් අර්ථවත් කිරීමට සියලු ජාතීන් එක්විය යුතුව තිබේ. මුළු ලෝකයම මවිත කළ යුද ජයග්‍රහණයේ දොළොස් වන සංවත්සරය සමරන මේ අවස්ථාවේ පසුගිය කාලයේ ත්‍රිවිධ හමුදාව ජාත්‍යන්තරය ඉදිරියේ පාවා දුන් ආකාරයත්, ත්‍රිවිධ හමුදාවේ දැනට සේවය කරන හා විශ්‍රාම ගිය විශාල පිරිසක් දඩයමට හා අවමානයට ලක් කළ ආකාරයත් කිසිසේත්ම අමතක කළ යුතු නැත. යුද ගිනිදැල් නිවාලමින් ජාතියට හුස්ම ගන්නට අයිතිය ලබා දුන් රණවිරුවන් සැමදා අනුස්මරණය කිරීම අප සැමගේම යුතුකම වන්නේය.

Related posts

Leave a Comment