නිරෝධායන බඩු මල්ල සමඟ මිල සඳහන් බිල් පතක්

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බළකාය දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙන්නේ නිරෝධායනයට ලක් කර සිටින සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජීවත් වන පවුල් වෙත රජයෙන් දෙන බඩු මල්ලෙහි අඩංගු භාණ්ඩවල මිල සහිත විස්තරයක් ඊට ඇතුළත් කරන ලෙසයි. ගම සමඟ පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්යසාධන බළකායේ සභාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී 17 වැනිදා පැවති සාකච්ඡාවකදී ගත් තීරණයක් අනුව මේ උපදෙස් සියලු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇත. නිරෝධායනයට ලක් කර සිටින පවුල් සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පවුල් වෙනුවෙන් රුපියල් දස දහසක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බඩු මල්ලක් දීමට රජය මේ වන විට පියවර ගෙන ඇත.

අත්‍යවශ්‍ය භාණ්ඩ දීමේදී කල් තබා ගත නොහැකි ආහාර ද්‍රව්‍ය ඇතුළත් නොකළ යුතු බවත් ජනාධිපති කාර්ය සාධන බළකායේ සම ලේකම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතා සියලු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පෙරේදා (18) ලිඛිතව දැනුම් දී ඇත. මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් බඩු මල්ල දෙනුයේ නිවෙස්වලම නිරෝධායනය කළ අඩු ආදායම්ලාභීන් සහ හුදෙකලා කළ ප්‍රදේශවල වෙසෙන ජීවන වෘත්තිය ඇණහිට ඇති පවුල් සඳහා පමණක් බවත් මාසිකව වැටුප් ලබන රජයේ සේවකයන් ඊට හිමිකම් නොකියන බවත් සදහන් කර ඇත.

Related posts

Leave a Comment