සුළි කුණාටුවෙන් මුහුදුබත් වූ යාත්‍රාවෙන් පුද්ගලයන් 184ක් මුදා ගනියි (Video)

දරුණු ටවුටේ සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි වෙරළ තීරයේ ප්‍රචණ්ඩ රැල්ලට හසු වී මුහුදුබත් වු බත්තල් යාත්‍රාවකින් පුද්ගලයන් 184 දෙනකු මුදා ගැනීමට ඉන්දීය නාවික හමුදාව සමත් වී තිබේ. එම යාත්‍රාවේ සිටි 261 දෙනාගෙන් තවත් පුද්ගලයන් 77දෙනකු අතුරුදන් වී ඇතැයි ඉන්දීය නාවික හමුදාව පවසයි. ටවුටේ සුළි කුණාටුවෙන් මුහුදේ අතරමංව සිටි තවත් බත්තල් යාත්‍රා තුනකින් පුද්ගලයන් 35 දෙනකු මුදා ගැනීමට ඉන්දීය නාවික හමුදාවට හැකි විය.  මෙසේ අනතුරට ලක් වී ඇත්තේ ඉන්දියාවේ තෙල් හා ස්වාභාවික ගෑස් සංස්ථාවට (ඔන්ජීසී) අයත් කැණීම් කටයුතු සඳහා යොදවා පිරිසකගෙන් සමන්විත යාත්‍රා කිහිපයකි. කුණාටුවට හසුවන විට නැංගුරම්ලා තිබූ එම යාත්‍රා ඈත දියඹට වේගයෙන් ගසාගෙන ගොස් ඇති අතර, අතුරුදන් වූ කම්කරුවන් මුදා ගැනීම සඳහා ඉන්දීය නාවික හමුදාව දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි.

පෙරේදා දිනයේදී පැයට කිලෝමීටර් 185කට වඩා වේගයෙන් හමා ගිය සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් ඇතිවූ අධික වර්ෂාවෙන් දකුණු ඉන්දියාවට දැඩි හානියක් සිදු වී ඇති අතර, එම පළාතේ පුද්ගලයන් 20කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබිණි. ගුජරාටි ප්‍රාන්තයට බලපෑ තත්ත්වය හේතුවෙන් කුඩා දරුවකු ද ඇතුළුව පුද්ගලයන් 33කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි ඉන්දීය පුවත් වාර්තා කළේය. කේරල, කර්නාටක, ගෝවේ, මහාරාස්ට්‍ර සහ ගුජරාටි ප්‍රාන්තයට දැඩි හානියක් සිදු කළ ටවුටේ සුළි කුණාටුව ඊයේ වන විට රාජස්තානයට කඩා වැදීමට නියමිතව තිබූ බැවින් එම ප්‍රාන්තයේ ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ඉන්දීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවා තිබිණි.

Related posts

Leave a Comment