වසර 17කට පසු ඡන්ද පොරයක් නැති ක්‍රිකට් මුල් පුටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ සභාපති තනතුර සඳහා නාම යෝජනා භාර දී තිබූ කේ. මතිවානන්, උප සභාපති ධූරය සඳහා නාම යෝජනා භාර දී තිබූ බන්දුල වර්ණපුර සහ ලේකම් ධූරය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ නිශාන්ත රණතුංග මහත්වරුන් ඉල්ලා අස්වීමත් සමග යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ලෙස ශම්මි සිල්වා මහතා ඇතුළු ඔහුගේ කණ්ඩායම තනි අශ්වයාගේ සටනකින් ඉදිරි වසර දෙකක කාලසීමාව සඳහා අද (20) යළිත් පත් වෙයි. ඉතිහාසයේ බොහෝ අවස්ථාවලදී ක්‍රිකට් සභාපති තනතුර ඡන්ද විසීමකින් පත් වන අතර, අවසන් වරට මේ ආකාරයන් නිතරඟයෙන් සභාපති තනතුරට පත් වූයේ 2004 වසරේ මොහාන් ද සිල්වා මහතාය. මොහාන් ද සිල්වා මහතා අද දිනයේ ලේකම් තනතුරට නිතරඟයෙන් පත්වන අතර, ශම්මි සිල්වා පාර්ශවයට සහය දක්වන නලීන් අපොන්සු හා බන්ධුල දිසානායක මහත්වරු සිය නාම යෝජනා ඉල්ලා අස්කර ගැනීමට සැදී පැහැදී සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ කමිටුව වෙත ලිපියක් නිකුත් කරමින් මතිවානන්, රණතුංහ හා වර්ණපුර යන මහත්වරුන් ඉල්ලා අස්වීම පිළිබඳ සිය ස්ථාවරය දැනුම් දුන් අතර, එම නාම යෝජනා ඉවත්කොට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද ඔන්ලයින් ක්‍රමයට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ලියාපදිංචි ඡන්ද 144ක් ඇති අතර, පළාත් ක්‍රිකට් සංගම් 8ක්, දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් 44ක්, පරිපාලන ක්‍රීඩා සමාජ 58ක්, අනුබද්ධිත ක්‍රීඩා සමාජ 22ක් සහ ක්‍රිකට් සංගම් 12ක් අත් ඔසවා විවෘතව ඡන්දය ප්‍රකාශ කරනු ඇත. සභාපති තනතුර සදහා ශම්මි සිල්වා, මොහාන් ද සිල්වා, ජයන්ත ධර්මදාස හා කේ. මතිවානන් යන මහත්වරුන් නාම යෝජනා ඉදිරිපත් කර තිබූ අතර, මතිවානන් මහතාගේ ඉල්ලා අස්වීමත් සමග අද දිනයේ මොහාන්ද සිල්වා හා ජයන්ත ධර්මදාස මහත්වරු ද ශම්මි සිල්වා මහතාට නිතරගයෙන් මුල් පුටුව ලබාදීම සඳහා නාමයෝජනා ඉල්ලා අස් කර ගැනීමට නියමිතය.

ක්‍රිකට් නිලවරණයේ උප සභාපති තනතුරු දෙක සඳහා නාම යෝජනා 6ක් ලැබී තිබුණු අතර, හිටපු උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න හා ජයන්ත ධර්මදාස මහත්වරුන්ට තැන දී නලීන් අපොන්සු, බන්ධුල දිසානායක මහත්වරුන් අද දිනයේ සටන් බිමෙන් ඉවත්ව යනු ඇත. උප ලේකම් ලෙස ක්‍රිෂාන්ත කපුවත්ත මහතාට නිතරගයෙන් පත් වීමට ඉඩදී ශම්මි ගුණසේකර මහතා සිය නාමයෝජනාව ඉල්ලා අස්කර ගැනීමට නියමිත අතර, භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ මහතාට සහයෝගය පිණිස සුජීව ගොඩලියද්ද මහතා සිය නාම යෝජනාව ඉල්ලා අස්කර ගැනීමට සූදානමින් සිටී. උප භාණ්ඩාගාරික ලෙස සුජීව ගොඩලියද්ද මහතා නියත වශයෙන්ම පත්වන අතර, එම වාතාවරණය උදා වන්නේ ඒ. කුමාර මහතා නාමයෝජනා ඉල්ලා අස් කර ගැනීමට සූදානමින් සිටින බැවිනි. නාම යෝජනා ඉල්ලා අස් කර ගත් මතිවානන්, රණතුංහ හා වර්ණපුර මහත්වරුන් හැර නාම යෝජනා දිනයේ ඉල්ලා අස්වන ඉතිරි අයට නිලවරණයෙන් පසු ප්‍රධාන කමිටු කිහිපයක තනතුරු හිමි වනු ඇතැයි පැවැසේ.

මෙවර නිලවරණයේ උප සභාපති තනතුර සඳහා නාම යෝජනා භාර දුන් බත්තරමුල්ලේ සීලරත්න හිමියන්ගේ නාම යෝජනාව කලින්ම ප්‍රතික්ෂේප වූ අතර, ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව එහි ප්‍රධාන තනතුරු සඳහා පත් වීමට නම් ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර තිබීම අනිවාර්ය වීම විරෝධතා නොමැතිවම ප්‍රතික්ෂේප වීමට හේතුවකි. ක්‍රිකට් නිලවරණය, නිලවරණ කමිටු සභාපති විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මිය හා විශ්‍රාමික උපරිමාධිකරණ විනිසුරු ශිරෝමී පෙරේරා, හිටපු ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකු වූ ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක මහත්ම මහත්මීන් විසින් මෙහෙයවනු ලැබීමට නියමිතය.

Related posts

Leave a Comment