උසාවිය ශානි අබේසේකරගේ සෞඛ්‍ය වාර්තාවක් ඉල්ලයි

වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට අභියාචනාධිකරණය ඊයේ (19) නියම කර සිටියේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුවකට අදාළව බොරු සාක්ෂි සෑදූ බවට සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් මේ මස 25වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. තමන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම් නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එස්. කුමාරන් රත්නම් යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මේ නියෝගය කර තිබේ.එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා මේ පෙත්සම්වලට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් දෙන ලෙස ඉල්ලා ඇත. පෙත්සම් අධ්‍යයනය කිරීමටද කල් දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි චමින්ද අතුකෝරල සහ විරාන් කොරයා යන නීතීඥවරු ඊට විරුද්ධත්වය පළ කර තිබේ. සිය සේවාදායක ශානි අබේසේකර මහතාට හෘද සැත්කමක් කිරීමට නියමිතව තිබෙන අතර, එය බන්ධනාගාරයේදී කළ නොහැකි බැවින් ඔහු ඇප මත මුදා හරින ලෙස නීතිඥ විරාන් කොරයා මහතා ඉල්ලා සිට ඇත. දැනට පවතින කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසා ඔහු දැඩි සෞඛ්‍ය තර්ජනයකට මුහුණ දී ඇති බවද නීතිඥවරයා පෙන්වා දී තිබේ. කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම්කරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් කැඳවීමට තීරණය කළ අතර, පෙත්සම සම්බන්ධ විරෝධතා මේ මස 27වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙස නියම කළේය. පෞද්ගලික හේතුන් මත මේ පෙත්සම් විභාගයට සහභාගි වීමට විනිසුරු එස්. කුමාරන් රත්නම් මහතා අකමැත්ත පළ කිරීම නිසා නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන විනිසුරු මඬුල්ල හමුවේ ජූනි මස 4වැනිදා මේ පෙත්සම විභාගයට ගැනීමටද අධිකරණය දින නියම කරන ලදී.

Related posts

Leave a Comment