බැසිල්ට සහ උදයංගට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට

කොළඹ ඩඩ්ලි සේනානායක විදුහලේ විදුහල්පති උලපනේ සුමංගල හිමියන් සහ ලෑෂ්ලි ද සිල්වා විසින්, යුක්රේන ජාතිකයන් සහ කොවිඩ් වැලදුණු ඉන්දීය ජාතිකයන් මෙරටට ගෙන්වීම මගින් කොවිඩ් වසංගතය ව්‍යාප්ත කිරීමට සලස්වා මෙරට වැසියන් අවදානමකට ලක් කිරීම සම්බන්ධයෙන් ආර්ථික පුනර්ජීවන සහ දුප්පත්කම තුරන් කිරීමේ ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සහ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ආර්ථික පුනර්ජීවන හා දුප්පත්කම තුරන් කිරීමේ ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ,රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග, පොලිස්පතිවරයා, නීතිපතිවරයා සහ ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති. ලෝකය පුරා කොවිඩ් වසංගතය පැතිරෙද්දී පළමු කොවිඩ් රැල්ල සාර්ථකත්වය පාලනය කිරීමට සමත් වූ බව පෙත්සමේ සඳහන් වේ. එසේ තිබියදී යුක්රේන ජාතිකයන් සහ ඉන්දීය කොවිඩ් ආසාදිතයන් මෙරටට ගෙන්වීමට කටයුතු කිරීම නිසා මෙරට කොවිඩ් ව්‍යාප්තිය ශීඝ්‍ර ලෙස සිදු වූ අතර 1 සහ 2 වගඋත්තරකරුවන්ගේ ක්‍රියා කලාපය ඊට හේතු වූ බව පෙත්සමේ දැක්වෙයි. මේ නිසා මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ ගිය අතර රෝගයට ගොදුරු වන්නන්ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව පෙත්සම්කරුවෝ කියති.

රටේ ජනතාවගේ ජීවිත බිලිවීමට ඇති පූර්ව දැනුවත්භාවය සහිතව වගඋත්තරකරුවන් මෙලෙස කටයුතු කර ඇති බවට පෙත්සම්කරුවෝ චෝදනා කරති. එසේම කොවිඩ් මැඩලීමට ඇති කළ විශේෂ අරමුදලේ මුදල් වැය වන ආකාරය සම්බන්ධයෙන් සහ සාමාන්‍ය මුදලට වඩා අධික මුදලක් වැය කර ගිලන් රථ ගෙන්වීම සම්බන්ධයෙන් ගැටලු ඇති බවත් පෙත්සමේ සඳහන් වේ. මේ වගඋත්තරකරුවන්ට මෙලෙස කටයුතු කිරීමට ඉඩදීම මගින් ජනාධිපතිවරයා චේතනාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට පෙත්සම්කරුවෝ චෝදනා කරති. එබැවින් වගඋත්තරකරුවන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් නීතිපතිවරයාට දෙන ලෙස පොලිස්පතිවරයාට නියම කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා ඇත.

එසේම මෙම පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අපරාධ නීතිය සහ නිරෝධායන නීතිය යටතේ 1,2 වගඋත්තරකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට නියම කරන ලෙසයි.

Related posts

Leave a Comment