කොල්ලුපිටියේ රු.කෝටි ගණනක ජංගම දුරකථන වංචාවක්

වෙළෙඳපොළ මිලට වඩා අඩු මිලට ජංගම දුරකථන ලබාදෙන බවට පාරිභෝගිකයන් සියයකට අධික පිරිසකගෙන් මුදල් ලබාගෙන දුරකථන ලබානොදුන් ආයතනයක් පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනකු ඊයේ (19 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. කොල්ලුපිටිය පොලිසිය මෙම වැටලීම කළේය.

සැකකරුවන්ට මුදල් ලබාදුන් පාරිභෝගිකයන් 24 දෙනෙකුගෙන් ලත් පැමිණිලි මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. බම්බලපිටිය, ලොන්වෙන්හිල් අංක 435, 15/ඒ යන ලිපිනයේ පිහිටි ‘Instabuy.lk’ යනු ආයතනය තමන්ගෙන් මුදල් ලබාගෙන දුරකථන ලබානොදුන් බවට පාරිභෝගිකයන් පොලිසියට පැමිණිලි කර තිබේ.

වෙළෙඳපොළේ රුපියල් ලක්ෂ තුනකට පමණ අලෙවි වන ජංගම දුරකථන රුපියල් ලක්ෂ දෙකකට පමණ ලබාදෙන බව ප්‍රකාශ කරමින් සැකකරුවන් පාරිභෝගිකයන්ගෙන් මුදල් ලබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මුදල් ලබාගැනීමෙන් දින 21කට පසු ජංගම දුරකථන ලබාදෙන බව ප්‍රකාශ කළත් ජංගම දුරකථන නොලැබුණු බව පැමිණිලිකරුවන් පොලිසියට ප්‍රකාශ කර තිබේ.

ලංකා ජංගම දුරකථන අලෙවිකරුවන්ගේ සංගමය කළ පැමිණිල්ලකට අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය අප්‍රේල් මස 6 වැනි දින මෙම ස්ථානයේ වැටලීමක් සිදුකරන ලදී. ඒ අනුව එම ස්ථානය පවත්වාගෙන යන පුද්ගලයන් පාරිභෝගිකයන්ගෙන් රුපියල් කෝටි 30ක පමණ මුදලක් අය කරගෙන ඇති බව අනාවරණය විය. ඉන් පසු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සහ ලංකා ජංගම දුරකථන අලෙවිකරුවන්ගේ සංගමය මෙම ජවාරම පිළිබඳ පොලිසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය. මෙම ස්ථානය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ශ්‍රී ලංකා මහ බැංකුවේ බුද්ධි ඒකකයටද දැනුම් දී ඇත.

Related posts

Leave a Comment