යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය

ශ්‍රී -ංකා මහ බැංකුව සිය 71 වැනි වාර්ෂික වාර්තාව (2020) ඉකුත් අප්‍රේල් 30 වැනිදා නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ නිදහස් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමේදී ඉතා අසීරු හා අභියෝගාත්මකම වූ වසර ලෙස ඉකුත් වසර එනම් 2020 නම් කරන බවයි. මෙලෙස ආර්ථිකය කළමනාකරණයට අසීරු හා අභියෝගාත්මක වූ තවත් වසර කිහිපයක් රටක් ලෙස අතීතයේදී අපට මුහුණදීමට සිදු වී තිබුණි. එම කාල වකවානු අතර, වසර 2005–2015 ප්‍රමුඛ වේ. මේ අසීරු කාලපරිච්ඡේදයේ මෙරට රාජ්‍ය නායකත්වය ඉසිලූයේ වෙන කිසිවකුත් නොව ඔබ අප කවුරුත් හොඳින් දන්නා හඳුනන අවස්ථා දෙකකදී ජනතා ඡන්දයෙන් විධායක ජනාධිපති ධුරයට පත් වූ මේ වන විට අග්‍රාමාත්‍ය ධුරය දරන මහින්ද රාජපක්ෂ මහතාය. වත්මන් අගමැති හා මුදල් ඇමැති ධුරන්දර මහින්ද රාජපක්ෂ මහතා සිය පළමු ජනාධිපති ධුර කාලය ආරම්භ කළේ වසර 2005 නොවැම්බර් 18 වැනිදා සිටය. එදිනට පෙර දින පැවැති මෙරට පස්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගන්නා ජනාධිපතිවරණය ජයගත් ඔහුට රට, ජාතිය ලෙස අප රට ජාතිය ලෝකය හමුවේ ඔසවා තැබීමට ජයගත යුතු අභියෝග රාශියකට මුහුණදීමට සිදු විය.

එවකට වසර 30ක් තරම් ආසන්න වීමට පැවැති මහා ම්ලේච්ඡ කුරිරු කොටි ත්‍රස්තවාදය පරාජයට පත් කිරීම, කඩා වැටුණු ආර්ථිකය නැවත ගොඩනැඟීම හා ජාතීන් අතර සමගිය, සහෝදරත්වය, මිත්‍රශීලී බව ඇති කිරීම එවර ජනාධිපතිවරයාට මුහුණදීමට සිදු වූ අසීරුතා හා අභියෝග විය.

  • අභියෝග

මේ අභියෝගයන් අතුරින් මහා විනාශකාරී කොටි ත්‍රස්තවාදය රණබිමේදී මුළුමනින්ම පරාජයට පත් කොට වසර 12ක් සම්පූර්ණ වේ. මේ අභියෝගය ජයගත් හිටපු ජනපති හා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ රට මුහුණදුන් ආර්ථික කළමනාකරණ අභියෝගය සුළුපටු නොවූවකි. එදා ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් විශාල ලෙස ඉහළ යෑම, ලෝක ආර්ථිකයේ අවපාතයක් පැවතීම, වසර 2008 නැඟෙනහිර ආසියානු රටවල මූල්‍ය අර්බුදයක් හට ගැනීම අන්තර්ජාතික වශයෙන් අපට එල්ල වූ බාධා විය. ඊට අමතරව දේශීය වශයෙන් කුරිරු කොටි ත්‍රස්තවාදය ඉතා දරුණු ලෙස උත්සන්න වී මුළු රටම යුද බියෙන් තැති ගැන්වීම, අන්තර්ජාතික ගුවන්තොටුපළ හා ප්‍රධාන ආර්ථික මර්මස්ථානයන්ට හා ඉතා අතිශයින්ම සම්භාවනාවට හා පොදු ජනතාවගේ වන්දනාමානයට ලක්වන සුවිශේෂී ආගමික සිද්ධස්ථානවලට ත්‍රස්ත ප්‍රහාර සිදු කිරීම, එදිනෙදා ජන ජීවිතයේ යහපැවැත්මට බාධා කිරීම, ආයෝජන විශේෂයෙන් ඍජු විදේශීය ආයෝජන අඩපණ කිරීම, රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස මෙන්ම විදුලිබලය, වරාය, මහාමාර්ග, ප්‍රවාහන, සන්නිවේදන, සමාජ ආර්ථික යටිතල පහසුකම් දියුණු කිරීම සීමා වීම නිසා ආර්ථිකයේ වර්ධනය අඩාළ වී තිබුණි. මෙවන් දහසකුත් එකක් අභියෝග හා අසීරුතා හමුවේ රට භාර ගත් හිටපු ජනාධිපතිවරයා මහින්ද චින්තන සිය මැතිවරණ ප්‍රතිපත්ති මාලාවට අනුගතව මුළු රටම එක සේ දියුණු කිරීමට පියවර ගත්තේය. ඒ අනුව වසර 2005 – 2015 මුළු රටම එකම එක වැඩබිමක් බවට පත් කැරිණි.

කුරිරු කොටි ත්‍රස්තවාදයේ අභියෝගය ජය ගන්නා අතරම, නිසි කලට පළාත් සභා හා මහ මැතිවරණ පවත්වමින් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ද තහවුරු කිරීමට එදවස කටයුතු යෙදිණි. කොටි ත්‍රස්තවාදීන්ගෙන් බැටකමින් අපේ රටේ භූමියෙන් තුනෙන් එකක් ද මහ සයුරින් තුනෙන් දෙකක් ද විඳි පීඩාව හමාර කළ හිටපු ජනාධිපතිවරයාට ඒ සඳහා එදා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන්නේ අයෝමය ශක්තියකි.

ජනාධිපතිවරයාගේ අභීත නායකත්වයෙන් කොටි ත්‍රස්තවාදය පරාජයට පත් වන විට රටේ ආර්ථිකයේ ජය ගැනුම උදෙසා වූ සංග්‍රාමය මෙහෙයවීමට භාර වූයේ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රෝහණ රාජපක්ෂ මහතාටය. බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම මත සෑම පළාතක්ම එක සේ දියුණු කිරීමේ ජාතික සංවර්ධන සංග්‍රාමය ආරම්භ විය. එදා “ජාතික සවිය, ගම නැගුම,” “උතුරු වසන්තය”, “නැ‍ඟෙනහිර නවෝදය” “පිබිදෙන පොළොන්නරුව” ප්‍රධාන සෑම පළාතක්ම ආවරණය වන සමාජ ආර්ථික යටිතල පහසුකම් සංවර්ධන වැඩපිළිවෙළ ආරම්භ විය.

  • ප්‍රතිලාභ

මේ සෑම සංවර්ධන වැඩසටහනකම පළමු තැන හිමි වූයේ පොදු මහජනතාවටය. ජනතා සහභාගීත්ව සංවර්ධනයක් සහ සෑම පළාතකටම රජයේ අරමුදල් ගලායන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කැරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ වරාය, ගුවන්තොටුපළ, විදුලි බලාගාර, නව සන්නිවේදන ජාල, ජල සැපයුම සඳහා මහා පරිමාණ වැව්, ජලාශ, ජල‍යෝජනා ක්‍රම ආරම්භ කෙරිණි. කොතරම් ආර්ථික හා සමාජ අභියෝග හමුවේ වුව රටේ ආර්ථික වර්ධන වේගය වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 06කට වඩා ඉහළ අගයකින් පවත්වා ගැනීමට එදා රජයට හැකි විය. වසර 2005දී ර‍ටේ ආර්ථික වර්ධන වේගය සියයට 6.2ක් විය. එය වසර 2006දී සියයට 7.7ක් විය. මාවිල්ආරු සොරොව්ව වසා නැවත වතාවක් කොටි ත්‍රස්තවාදීන් යුද්ධයක් ආරම්භ කළ දවසේ පටන් කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දමන තුරු ද රටේ ආර්ථික වර්ධන වේගය ඍණ වූයේ නැත. වසර 2007දී සියයට 6.8ක් දක්වාද, 2008 දී සියයට 06ක් දක්වා ද, පහත වැටුණු ආර්ථික වර්ධන වේගය වසර 2009දී සියයට 3. 5ක් විය. මෙසේ මන්දගාමී වූ ආර්ථික වර්ධන වේගය නැවත වතාවක් ශක්තිමත් ලෙස ඉහළ නංවා ගැනීමට යුද්ධයෙන් පසුව අඩිතාලම දැමුණි. ශ්‍රී ලංකා ඉතිහාසයේ සියයට 9.1ක ආර්ථික වර්ධනයක් වසර 2012දී වාර්තා කරන ලදී.

ශ්‍රී ලංකාව නැවත වතාවක් ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගනිමින් ආසියාවේ ආශ්චර්ය බවට පත්වීමේ ඉලක්කය ඇතිව ක්‍රියාකාරකම් ආරම්භ කැරිණි. එහිදී මෙරට මානව සම්පත් නිපුණතා හා හැකියාවන් ලෝකයේ ශ්‍රම වෙළෙඳපොළ ඉල්ලුම මනාව සපුරාලීමට තරම් පොහොසත් ලෙස සංවර්ධන කිරීමට ආයෝජනයක් සිදු කැරිණි. ‘‘හොඳම දේ දැයේ දරුවන්ට’’ යන තේමාව යටතේ අධ්‍යාපනයේ පුළුල් විප්ලවයක් සිදු කිරීම ඇරඹිණි. එවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි ගෝඨාභය ජයරත්න මහතා මේ ලියුම්කරු සමඟ වරක් ප්‍රකාශ කර සිටියේ මෙරට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය හා ප්‍රමිතිය ඉහළ නැංවීමට රජය සිදු කළ විශාලතම ආයෝජනය මේ කාලයේ සිදු කළ බවය.

  • පිබිදීම

එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වූ වර්තමානයේ මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ මඟ පෙන්වීම මත බැංකු හා මූල්‍ය අංශයේ සිදු වූ විප්ලවීය වෙනස්කම් නිසා උතුරු – නැඟෙනහිර ඇතුළු මුළු රටේම අඩු පහසුකම් සහිත පළාත් සෑම එකකම පාහේ විශාල ආර්ථික දියුණුවක් ඇති විය. මේ සෑම දියුණුවක් සමඟම ඒ ඒ පළාත්වල ජනතාවගේ ද බද්ද වීමක් සිදු විය. සෑම සංවර්ධන ක්‍රියාවලියක්ම ජනතා සහභාගිත්ව සංවර්ධන වැඩපිළි‍වෙළක් වෙත බද්ද කැරිණි.

“දැයට කිරුළ” ජාතික ප්‍රදර්ශනය හා ඒ හා බැඳුණු දැවැන්ත ආර්ථික යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන් පිළිබඳව ඉතා සතුටින් මේ ලියුම්කරු සමඟ වරක් වත්මන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරන්දර රංජිත් සියඹලාපිටිය මහතා සිහිපත් කළේය. එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ වර්තමානයේ ජනාධිපති ලේකම් ධුරය දරන ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා කොතරම් අභියෝග හමුවේ රටේ ආර්ථිකය කළමනාකරණය කළේ දැයි වැටහී යනුයේ, ආර්ථිකය බිඳ නොවැටී ක්‍රමිකව වර්ධනය වූ වටාපිටාව විග්‍රහ කර බලන කලය.

මේ වන විට ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කිරීම පවා ඉතා අසීරු වී තිබේ. වසර 2015- 2019 යහපාලන රජය ද මීට විශාල ලෙස වගකිවයුතුව ඇත. කෙසේ නමුත් අතීතයට දොස් නඟා ප්‍රශ්නවලින් පැන යාම වත්මන් ජනාධිපති ‍ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පිළිවෙත නොවේ. ඔහුගේ ප්‍රතිපත්තිය සෞභාග්‍යයේ දැක්ම මත රට නැවත ආර්ථික අතින් ඉහළට ඔසවා තැබීම වී තිබේ. මේ එළඹ ඇත්තේ එම අභියෝගය ජය ගැනීමේ කාලයයි. එය වසර 2005 – 2015 කාලයේ මහින්ද රාජපක්ෂ මහතා මුහුණදුන් අභියෝගයන්ටත් වඩා මෙම අභියෝගය දැඩි හා උග්‍ර බව පමණක් සඳහන් කළ යුතුය. එනමුත් අපට ජාතියක් ලෙස නැවත නැඟී සිටීමට හැකි බව අවධාරණය කළ යුතුය. ඒ සඳහා අප සියලු රටවැසි‍යෝ වංචාව, දූෂණය, නාස්තිය දුරු කොට රට නැඟීමේ අවංක චේතනාවෙන් දැඩි උනන්දුවෙන්, කැපවීමෙන් වෙහෙස නොබලා තම කාර්යය ඉටු කළ යුතු බව නම් අමුතුවෙන් කිව යුතු නොවේ.

Related posts

Leave a Comment