රටට අවශ්‍ය ජාතික මැතිවරණයක් – අනුර කුමාර දිසානායක

තවදුරටත් මේ පාලනය සහ පාලකයන් ගැන කතා කිරීමෙන් පලක් නෑ. දැන් අවශ්‍ය වී තිබෙන්නේ ජනතාවත් මාතෘ භූමියත් දිනවන ආණ්ඩුවක් හදා ගැනීමයි. රටට දැන් අවශ්‍ය වෙලා තිබෙන්නේ ජාතික මැතිවරණයක්.’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.ඒ මහතා මේ අදහස් පළ කළේ පසුගියදා 20 නුගවෙලදී පැවති සංවාදශීළී සම්මන්ත්‍රණයකට සහභාගිවූ අවස්ථාවේදීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වු ඒ මහතා පැවසුවේ

‘වසර 77ක පැරණි යුගය අවසන් කර නව යුග පෙරළියක් අපේ රටට අවශ්‍යයි. කුඩා කුඩා ප්‍රතිසංස්කරණවලින් එක එක නායකයන්, මැජික්කරුවන්, ඉන්ද්‍රජාලිකයන් ගෙනත් මේ රට ගොඩ ගන්න බෑ. ජනතාව වසර 73ක්ම බලාගෙන සිටියේ ඉන්ද්‍රජාලික­‍ෙයක් ඇවිත් මේ රට හදයි කියලා. අපට මතකයි 88/89 ප්‍රේමදාස මහත්තයා ආවා දුප්පතාගේ හිතවතා කියලා. ඒ නව ඉන්ද්‍රජාලිකයා අපේ රට ගොඩ ගනියි කියලා බලාපොරොත්තු වුණා. අසාර්ථකයි. 1994 නැවත ඉන්ද්‍රජාලිකාවක් ගෙනාවා විහාරමහා දේවි කියලා. රට බේරා ගනීවි කියලා හිතුවා. 2005දී අපේක්ෂා කළා ගිරුවාපත්තුවේ ඉපදිලා වෙල් ඉපනැල්ලේ හුළං වැදුණු නායකයෙක් ඇවිත් අපේ රට හදයි කියලා. 2015 ජනතාව අපේක්ෂා කළා තවත් අලුත් වර්ගයේ ඉන්ද්‍රජාලිකයෙක්. පොළොන්නරුවෙන් ඇවිත් ඔහුගේ දියණිය කියන පරිදි මහ පොළොවෙන් උපන් මිනිසා. ජනතාව අපේක්ෂා කළා ඇවිත් රට හදයි කියලා. වසර පහක් යන විට ඔහුගේ පාලනය ද ඔහුගේ කෙරුවාව ද ඔප්පුවී හමාරයි. ඊට පසුව 2019 අපේක්ෂා කළා වැඩ කරන විරුවා ඇවිත් රට හදයි කියලා. රටේ ජනතාව අසරණයි.

අපේ රටේ දේශපාලනය කියන්නේ අතිශය වරප්‍රසාද ලත් තනතුරක්. දේශපාලනය අතිශය ලාභ ලබන ව්‍යාපාරයක්. ලාභයෙන් ස්ථාවරයි. අනෙක් සෑම ව්‍යාපාරයකින් ලැබෙන ලාභය අවිනිශ්චිතයි. හැබැයි ස්ථාවර විශාල ලාභයක් උපයනවා දේශපාලනයෙන්. එනිසා අපේ රටේ දේශපාලනය ව්‍යාපාරයක්. මේ රට ජයග්‍රහණය කළ හැකි වන්නේ මේ රටේ ව්‍යාපාරයක් බවට පත් වී තිබෙන දේශපාලනය මහජන සේවයක් බවට පරිවර්තනය කිරීමෙන් පමණක් බවද ,

මේ රට කොතැනටද මේ පාලකයන් ගෙනි යන්නේ. මෙහෙම දේශපාලන සංස්කෘතියක් ඕනෑද? අපේ රටට අර්බුදයක් ආවාම ඒ අර්බුදයට විද්‍යාත්මක ප්‍රවේශය කියලා දෙන ආණ්ඩුවක් ඕනෑ. අන්න ඒ දේශපාලන පරිවර්තනය අප කරනවා යයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළේය.

Related posts

Leave a Comment