කොරෝනා මැද වරාය නගර පනත සම්මත කරන්නේ කොරෝනා පාලනයට ඩොලර් උවමනා නිසා..

කොළඹ වරාය නගරය හරහා ශ්‍රී ලංකාව ආසියාවේ වාණිජ කේන්ද්‍රය බවට පත්වීම, ලංකාවේ භූමි ප්‍රමාණය වැඩිවීම, රුපියල ස්ථාවර කිරීම සදහා විදේශ ආයෝජන ලැබීම ඇතුළු වාසි හතක් අත් වන බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය. ඒ් මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිලිබඳව පැවැති පාර්ලිමේන්තු විවාදය හා එක්වෙමිනි.

ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය

කොරෝනා මැද කොළඹ වරාය පනත සම්මත කරන්නේ ඇයි ?

ශ්‍රී ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යක් සනිටුහන් කළ කොටි ත්‍රස්තවාදය පරාජය කළ රණවිරු දිනයේ තවත් හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරන විවාදයකට සම්බන්ධ වීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකනවා.

ශ්‍රී ලංකාව කොරෝනා වසංගතයට ගොදුරු වී සිටින මොහොතක වරාය නගරය පිළිබඳ මෙම විවාදය පැවැත්වීම අශෝභන යැයි විපක්ෂය චෝදනාවක් නගනවා.

කොරෝනා මර්දනයට ආණ්ඩුවට අත්‍යාවශ්‍යම දේ තමයි විදේශ විනිමය. ඇන්ටිජෙන් කිට්, පීසීආර් යන්ත්‍ර සිට දැඩි සත්කාර ඒකක උපාංග සහ ගිලන් රථ දක්වා සියළුම දේ ගේන්නේ පිටරටින්. ඖෂධ ගේන්නේ පිටරටින්. ගිලන් රථ වලට සපයන ඉන්ධන ගේන්නේ පිටරටින්. රෝහල් වලට අවශ්‍ය විදුලිය නිපදවන ඉන්ධන ගේන්නේ පිටරටින්. මේ සියල්ලටම වඩා ප්‍රතිශක්තිකරණ එන්නත් ගේන්නේ පිටරටින්.

දැන් අපි ඩොලරයට රුපියල් දෙසීයක් පමණ ගෙවනවා. එය රුපියල් 250ක් වුණොත් අපට කොරෝනා මර්දනයට බරපතල ලෙස බලපානවා. අන්න ඒ නිසා තමයි විදේශ විනිමය අර්බූදයකට මුහුණ පා සිටින රටක් විධියට කොරෝනා මර්දනයට දැඩි ලෙස විදේශ විනිමය අවශ්‍ය රටක් විධියට කොරෝනා මැද කොළඹ වරාය පනත සම්මත කරලා මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට තීරණය කලේ. කොරෝනා කියලා ආණ්ඩුව සංවර්ධන වැඩ නතර කලා නම් දැන් මාස 15ක් පුරාවට ලංකාවේ කිසිම සංවර්ධනයක් වෙන්නේ නෑ.

ඒ වගේම අමතක කරන්න එපා, කොරෝනා වසංගතය ලංකාවට පැමිණෙන විට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණේ. තමුන්නාන්සේලාට පාර්ලිමේන්තු බහුතර බලය තිබුණු නිසා පාර්ලිමේන්තුව වහාම කැඳවන්න කියලා තමුන්නාන්සේලා ඉල්ලා සිටියා. දැන් බහුතරය නැති නිසා පාර්ලිමේන්තුව කැඳවන්න එපාලු. බහුතරය තිබිය දී පාර්ලිමේන්තුව කැඳවීම හොඳයි. බහුතරය නැතිනම් පාර්ලිමේන්තුව කැඳවීම නරකයි. ඒක දෙබිඩි කතාවක් නේද?.

පනතේ අඩංගු සංකල්ප ව්‍යවස්ථාවට පටහැනි නෑ

මේ පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අනුව අවශ්‍ය සංශෝධන කළාම සියළුම වගන්ති සරල බහුතරයෙන් සම්මත කරන්න පුළුවන්. එහෙම නම් පනතේ අඩංගු සංකල්ප ව්‍යවස්ථාවට පටහැනි නෑ. කෙටුම්පත් කිරීමේ දෝෂ නිසා තමයි පනත ව්‍යවස්ථාවට පටහැනි වෙලා තිබෙන්නේ. අපි අද ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කළ සියළුම සංශෝධන සිදු කරන නිසා මේ පනත සරල බහුතරයකින් සම්මත කරන්න පුළුවන්.

වරාය නගරය නිසා ලංකාව කළු සල්ලි සුදු කරන තිප්පලක් වෙනවා. වරාය නරගයෙන් ලංකාව චීන කොලනියක් වෙනවා. වරාය නගරය වෙනම රටක් වෙනවා යනාදි වශයෙන් පසුගිය කාලයේ විපක්ෂය ලතෝනි දුන්නා. ලංකාවට ඒ ඉරණම අත් වෙන්නේ පනතේ කුමන වගන්ති වලින් ද කියා අපි විපක්ෂයෙන් ප්‍රශ්න කලත් අපට තවමත් පිලිතුරු ලැබුණේ නෑ. මේ විවාදයේ දීවත් ඒ ප්‍රශ්න වලට පිලිතුරු ලබාදේවි කියා අපි බලාපොරොත්තු වෙනවා.

වරාය නගරය සැකසීමෙන් අපට ලැබෙන වාසි මොනවා ද ?

වරාය නගරය සැකසීමෙන් අපට ලැබෙන වාසි මොනවාද කියලා විපක්ෂය ප්‍රශ්න කරනවා. ඔන්න එහෙනම් අහ ගන්න. මෙන්න ලැයිස්තුව.

1) ලංකාවේ සුවිශේෂ පිහිටීම අනුව ආසියාවේ වාණිජ කේන්ද්‍රය විය යුත්තේ ලංකාවයි. ලංකාව ඒ පිහිටීමේ වාසිය උකහා ගත්තේ නැති නිසා තමයි සිංගප්පූරුව සහ ඩුබායි කියලා විකල්ප වාණිජ කේන්ද්‍ර දෙකක් බිහි වුණේ. ඉතිහාසයේ අපට අහිමි වුණු අවස්ථාව යළි දිනා ගැනීමේ ගමනේ ආරම්භය ලෙස වරාය නගරය හඳුන්වන්න පුලුවන්.

2) ලංකාවේ භූමි ප්‍රමාණය අක්කර 273කින් වැඩි වෙනවා. ඉතිහාසය පුරාම සේදී සේදි මුහුදට ගියා මිස කවදාවත් මුහුද ගොඩ කර රටේ ඉඩම් ප්‍රමාණය වැඩි කලේ නෑ. මේ ව්‍යාපෘතියෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට භූමිය වැඩි වෙනවා.

3) රුපියල ස්ථාවර කරන්න නම් අපට විදේශ ආයෝජන ඕනෑ. වරාය නගර ව්‍යාපෘතිය දැනටමත් ඩොලර් බිලියන 1.4ක් ආයෝජන ලෙස ගෙනැල්ලා. ඒක ලංකාවේ වාර්ෂික අපනයන ආදායමෙන් 10%කටත් වැඩියි.

4) ඩොලර් බිලියන 15ක් ආයෝජන ලෙස ඉදිරියේ දී ලැබෙවි කියා බලාපොරොත්තු වෙනවා. අපි ඩොලරයකට ගෙවන රුපියල් ගණන අඩු කරන්න පුලුවන් වුණොත් ආනයන වියදම අඩු වී ජීවන වියදම අඩු වී එහි ප්‍රතිලාභය රටේ සෑම පුරවැසියෙකුටම ලැබෙනවා.

5) ලංකා ආණ්ඩුවට අක්කර 155ක් වෙන් කර තිබෙනවා. කොළඹ නගරයේ හදවතේ අක්කර 155ක්. ඒවා බදු දීලා දැවැන්ත ආදායමක් උපයන්න පුලුවන්.

6) වෘත්තීය සහ තාක්ෂණිකවේදින්ට ඉහළ ප්‍රමුඛතාවයක් ලැබෙන රැකියා අවස්ථා 80,000ක් පමණ බිහි වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ අයට පිටරටක නොයාම ඩොලර් වලින් පඩි ගන්න රස්සාවක් කරන්න පුළුවන්.

7) මෙම නගරයට සේවා සැපයීමෙන් අපට දැවැන්ත ආදායමක් උපයන්න පුළුවන්. ජලය, විදුලිය, ඉන්ධන, සනීපාරක්ෂක සේවා, නඩත්තු සේවා, ආහාර සහ ලිපිද්‍රව්‍ය යනාදිය අපට වරාය නගරයට සපයන්න පුළුවන් දැවැන්ත ලැයිස්තුවෙන් කිහිපයක්.

මහ කොළඹ ආර්ථික කොමිසම සහ වරාය නගර කොමිෂන් සභා පනත

වරාය නගර කොමිෂන් සභා පනතට අද විපක්ෂය විරුද්ධ වුණත් සුදු පාවඩ එලලා සාධුකාර දීලා විපක්ෂය පෙරහැරේ වැඩම්ම වූ 1978 අංක 4 දරණ මහ කොළඹ ආර්ථික කොමිෂන් සභා පනතත් බොහෝ දුරට මීට සමානයි.

1. එහි සමාගම් වලට විදේශ විනිමය මත බැංකු ගිණුම් විවෘත කර ගනුදෙනු කරන්න පුළුවන්.

2. 9(අ) වගන්තියට අනුව රෙගුලාසි සැකසීමේ බලය කොමිෂන් සභාවට තිබෙනවා.

3. 16(ආ) වගන්තිය අනුව ඉඩම් අත්පත් කර ගන්න විකිණීමට සහ බදු දීමට කොමිසමට බලය තිබුණෘ.

4. 18(1) අනුව අයබදු සහ ගාස්තු අය කිරීමට නීති සැකසීම සඳහා කොමිසමට බලය තිබෙනවා.

5. 22 වගන්තියෙන් පලාත්පාලන ආයතනයන්ගේ පාලනයෙන් කොමිසමේ භූමිය නිදහස් කර තිබෙනවා.

6.26(2) ආරවුල් බේරුම්කරණය සඳහා මධ්‍යස්ථානයක් සැකසීමට කොමිසමට ලබා දී තිබෙනවා.

7. 27 වගන්තිය අනුව කොමිසමේ භූමි සීමාවෙන් පිටතට භාණ්ඩ ගෙන යනවා නම් බදු ගෙවිය යුතුයි.

8. 30 වගන්තිය අනුව ආදායම් බැර කිරීමට කොමිසමට අයිති අරමුදලක් තිබුණා.

9. 32 වගන්තියෙන් බදු ගෙවීමෙන් නිදහස් කර තිබෙනවා.

එදා පනත් 11ක් මහ කොළඹ ආර්ථික කොමිසමේ භූමියට අදාළ නොවුණා. අද පනත් හතක් පමණයි අදාළ නොවන්නේ.

එදා කොමිෂන් සභාවේ බල සීමාව වුණේ උතුරට මහඔය ද දකුණට කැළණි ගඟ ද මායිම් වුණු ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව පදිංචි ඓතිහාසික ජනාවාස සහිත භූමියක්. එය මීගමුව, කටාන, ජා ඇල, මහර, වත්තල සහ කැලණිය යන මන්ත්‍රි කොට්ඨාශ ආවරණය වුණා.

මේ බලතලම ලබා දෙන වරාය නගර කොමිසමේ භූමිය ඓතිහාසික ජනාවාසයක් නොව ආයෝජකයින්ට ලබා දීම සඳහාම මුහුද ගොඩ කර ඉදි කළ එකක්. එදා මහ කොළඹ ආර්ථික කොමිසම බිහි කළ අයම අද වරාය නගර කොමිසමට විරුද්ධ වීම මේ සියවසේ ලොකුම විහිළුවයි.

Related posts

Leave a Comment