ක්‍රිකට් ලෝක කුසලානය දින්නොත් ක්‍රීඩකයකුට පඩියට අමතර කෝටි 15ක්

  • දින 5ක ටෙස්ට් තරගයකට ලක්ෂ 15ක ගෙවීමක්
  • පැරදිලා ගෙදර ආවත් කෝටි 6යි
  • උඩම ටෙස්ට් පිල පරාජය කළ දාට බෝනස් කෝටි 2.5ක්

ඉදිරි කාලයේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යන ක්‍රීඩකයකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් කෝටි 15ක (අ.ඩො. 750,000) මුදලක් පිරිනැමීමට සූදානම් වෙයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය දක්වා රැගෙන යෑමට සමත් වුව හොත් කෝටි 7ක (අ.ඩො. 350,000) මුදලක් එක් ක්‍රීඩකයකුට හිමි වන අතර, අර්ධ අවසන් පූර්ව වටය දක්වා පිවිසිය හොත් ක්‍රීඩකයකුට ලැබෙන මුදල රුපියල් කෝටි 5 (අ.ඩො. 250,000) කි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකා ක්‍රීඩකයකුට රුපියල් කෝටි 6ක (අ.ඩො. 300,000) මුදලක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් එකඟතාව පළකොට ඇත. මේ ගෙවීම් වසර 2019දී එංගලන්තයේ පැවැති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ගෙවූ මුදලට වඩා යම් වැඩිවීමකි.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සමඟ අත්සන් තැබීමට නියමිත නව වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තුව පෙරේදා පැවැති මාධ්‍ය හමුවකදී එළි දැක්වූ අතර, ක්‍රීඩකයන්ගේ කාර්යය සාධනය මත පදනම් වූ දිරිගැන්වීමේ වැටුප් ක්‍රමවේදයක් සකස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත. මේ වාර්ෂික කොන්ත්‍රාත්තුව ජාතික තලයේ පසු වන ක්‍රීඩකයන් 24ක් ඉලක්ක කොට සකසා ඇති අතර, කොන්ත්‍රාත්තුවට අත්සන් කිරීම සඳහා ලබන ජූනි මස 03 වැනිදා දක්වා කාලය දී ඇත. මේ කොන්ත්‍රාත්තුවට ඇතුළත් ක්‍රීඩකයන් 24ක ගෙන් 18ක්ම මේ වන විට බංග්ලාදේශයේ පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගි වීම සඳහා පිටත්ව ගොස් සිටින හෙයින් එය නිමාවූ වහාම කොන්ත්‍රාත් අත්සන් කිරීම අවසන් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

නව ගිවිසුම මේ වන විටත් ක්‍රීඩකයන්ට දී ඇති අතර, ඔවුන් මේ කොන්ත්‍රාත්තුවට අත්සන් කරනවාද නැද්ද යන්න තවමත් ක්‍රිකට් ආයතනයට පවසා නැත. නව වාර්ෂික කොන්ත්‍රාත් ක්‍රමවේදය, ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි මහතා සහ තාක්ෂණික කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් උපදේශන මණ්ඩලය සකස් කොට ඇත. ක්‍රීඩකයන්ගේ දස්කම් සියයට 50ක්, ශාරීරික යෝග්‍යතාව සියයට 20ක්, ක්‍රීඩකයන්ගේ සූදානම සියයට 10ක්, නායකත්වය සඳහා පෙරමුණ ගැනීම සියයට 10ක් සහ අනාගත වැඩදායී බව වෙනුවෙන් සියයට 10ක් වශයෙන් ලකුණු ක්‍රම භාවිතා කර තිබේ. එම නිර්ණායක මත අදාළ ක්‍රීඩකයන් ඒ, බී, සී සහ ඩී යනුවෙන් කාණ්ඩ 4ක් ඔස්සේ ශ්‍රේණිගත කර තිබෙන අතර, එම එක් එක් කාණ්ඩ තවත් අනු කාණ්ඩ 3ක් යටතේ වර්ග කර තිබේ.

ක්‍රීඩකයන් කොන්ත්‍රාත් ගත කිරීමේදී ලොව පුරා භාවිතා කරනු ලබන ක්‍රමවේදයන් පිළිබඳ අධ්‍යයනය කළ බව ක්‍රිකට් අධ්‍යක්ෂක ටොම් මූඩි මහතා කියා සිටී. තම අත්දැකීම් අනුව තවමත් නිවැරදිම ක්‍රියාවලිය කුමක්ද යන්න ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් සොයා ගෙන නැතත් එම රටවල් හැසිරෙන ආකාරය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් කළ බව ටොම් මූඩි මහතා පැවසීය. මේ නව කොන්ත්‍රාත් ක්‍රමවේදය අනුව ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල වැඩිම වැටුප් ලබන අතර, එක් අයකුට ගෙවන මුදල රුපියල් කෝටි 2 (අ.ඩො. ලක්ෂ 1) කි. ඔවුන් දෙදෙනාම ටෙස්ට්, එක්දින සහ විස්සයි20 තරග අංශ 3ම නියෝජනය කිරීම, ඉහළ කාණ්ඩයට ඇතුළත්වීමට හේතු වී තිබේ.

ඉදිරියේදී තරග ජයග්‍රහණය කිරීමේදී වැඩි මුදලක් උපයා ගැනීමට හැකි වීම නව කොන්ත්‍රාත් ක්‍රමවේදයේ කැපී පෙනෙන ලක්ෂණයකි. කලින් පැවැති ගිවිසුමට අනුව ලොව ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි ඉහළ කණ්ඩායමක් පරාජය කිරීමේදී ක්‍රීඩකයකුට රුපියල් ලක්ෂ 50ක් (අ.ඩො. 25,000ක්) ලබා දුන්නද, නව ක්‍රමවේදයට අනුව ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසු වන කණ්ඩායම පරාජය කිරීමට සමත් වුව හොත් රුපියල් ලක්ෂ 250ක් (අ.ඩො.150,000), දෙවැනි ස්ථානයේ සිටින කණ්ඩායම පරාජය කළ හොත් රුපියල් ලක්ෂ 240ක් (අ.ඩො.125,000), ද තෙවැනි ස්ථානයේ රැඳී සිටින කණ්ඩායම පරාජයට පත් කිරීමෙන් රුපියල් ලක්ෂ 196ක් (අ.ඩො.100,000) ආදී වශයෙන් හිමි වේ. මේ ආකාරයෙන් හත්වැනි ස්ථානය දක්වා ක්‍රමික අඩුවීමකින් දිරි ගැන්වීමේ බෝනස් මුදල් ගෙවීමේ ක්‍රමවේද සකස් කොට ඇත.

තරගවලට සහභාගීවීමේදී ගෙවන මුදල වැඩිකොට ඇති අතර, ටෙස්ට් තරගයකට සහභාගි වීමේදී නව කොන්ත්‍රාත්තුවට ඩොලර් 7500ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 15ක් ගෙවන අතර, එය කලින් පැවැතියේ ඩොලර් 7000ක මුදලක් හෙවත් රුපියල් ලක්ෂ 13ක් ලෙසය.

Related posts

Leave a Comment