ශ්‍රී ලංකාවට එරෙහි මුල් තරග 2කට ෂැන්ටෝ නෑ

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සඳහා වන සංචිතය ඊයේ නිවේදනය කළේය. ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියේදී දස්කම් දැක්වූ නජ්මුල් හුසේන් ෂැන්ටෝට මේ තරගාවලියේ මුල් තරග දෙක අහිමි වී ඇති අතර, පසුගිය මාර්තු මාසයේ අවසන් වරට නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කළ එක්දින තරගාවලියට එක් නොවූ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් යළි කැඳවා තිබේ. නවසීලන්තයට එරෙහි තරගාවලියට නම් කළ සංචිතයේ සිටි අල් අමීන් හුසේන්, හසන් මහමුද්, රුබෙල් හුසේන්, මොහොමඩ් නයිම් සහ නසුම් අහමඩ් ද මේ සංචිතයෙන් ඉවත් කර ඇත.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියකට එක්වීමෙන් පසු බංග්ලාදේශයේ කොරෝනා නීති හේතුවෙන් ශ්‍රී ලංකා පිල සමඟ තරගාවලියට එක්වීම අවිනිශ්චිතව සිටි බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ට සහ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසූර් රෙහ්මාන්ට නිරෝධායන නීති ලිහිල් කිරීමට එරට රජය කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස සංචිතයට එක්වීමේ අවස්ථාව හිමි විය. ඉන්දියාවේ සිට පැමිණෙන අයට දින 14ක නිරෝධායන කාලසීමාවක් අනිවාර්ය කර තිබූ අතර, මේ ක්‍රීඩකයන් දෙදෙනාට එම කාලසීමාවෙන් දින 2ක් අඩු කෙරිණි. ඔවුන් දෙදෙනා මේ වන විටත් කණ්ඩායම සමඟ එක්ව පුහුණුවීම් ආරම්භ කර තිබේ. දෙපිල අතර, එක්දින තරග 3 මේ මස 23, 25 සහ 28 දිනවල ඩකාහිදී පැවැත්වීමට නියමිතය.

මුල් තරග දෙක සඳහා වන සංචිතය,

ටමීම් ඉක්බාල් (නායක), ලිටන් දාස්, ශකිබ් අල් හසන්, මුෂ්ෆිකූර් රහීම්, මොහොමඩ් මිතුන්, මහමුදුල්ලා, අෆිෆ් හුසේන්, මෙහෙදි හසන් මිර්සා, මොහොමඩ් සයිෆුදින්, ටස්කින් අහමඩ්, මුස්ටෆිසූර් රෙහ්මාන්, සෞමියා සර්කාර්, මොසැඩෙක් හුසේන්, මහෙඩි හසන්, ෂොරිෆුල් ඉස්ලාම්.

Related posts

Leave a Comment