SLTC පර්යේෂණ නවෝත්පාදන සම්මාන රාත්‍රිය උත්කර්ෂවත්ව

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණ විශ්වවිද්‍යාලයක් වන Sri Lanka Technological Campus (SLTC) මඟින් සංවිධාන කරන ලද ‘SLTC පර්යේෂණ හා නවෝත්පාදන සම්මාන රාත්‍රිය’ පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. පර්යේෂණ සහ නවෝත්පාදන අංශ ඔස්සේ දේශීය හා අන්තර්ජාතික අවධානයට පාත්‍ර වූ විශිෂ්ටයන් ඇගයීමට ලක් කිරීම මේ සම්මාන උලෙළේ අරමුණ විය. SLTC ආයතනයේ පාදුක්ක පරිශ්‍රයේදී පැවති මේ වැඩසටහනට තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ, වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් ප්‍රමුඛ පිරිසක් එක්වූහ. පසුගිය වසරක කාලයේදී, විශේෂයෙන්ම පර්යේෂණ අංශයෙන් විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කළ පර්යේෂකයන්, ආචාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සහ සිසු සිසුවියන් පිරිසක් වෙත මෙහිදී සම්මාන පිරිනමන ලදි.

SLTC ආයතනයේ සාර්ථකත්වයන් සම්බන්ධයෙන් ගත් විට, 2020 වසර තුළ පර්යේෂණ 80කට වැඩි සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කිරීම, Webometrics ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ 19 වැනි ස්ථානයට පත් වීම, ග්‍රන්ථ 2ක් සහ ග්‍රන්ථ පරිච්ඡේද 5ක් ප්‍රකාශයට පත් කිරීම, යුරෝපා සංගමය වෙතින් සම්මාන 2ක් දිනා ගැනීමට හැකි වීම යනාදිය මෙන්ම, පුද්ගල සාර්ථකත්වයන් සම්බන්ධයෙන් ගත් විට, ඉංජිනේරු සහ භෞතික විද්‍යා අංශයෙන් ‘Highest Impact Factor’මට්ටමේ පර්යේෂණ පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කිරීම වැනි කරුණු විශේෂයෙන් සඳහන් කළ හැක.

Related posts

Leave a Comment