කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් සාම්ප්‍රදායික ආර්ථිකය වෙනස් මඟකට ගමන් කරනවා

  • ඇමැති දිනේෂ් ගුණවර්ධන

බදු සහන තීරණ ගන්නේ කැබිනට් මණ්ඩලයයි.කොමිෂන් සභාවට පුළුවන් මේ සහන දෙන්න කියා ජනාධිපතිතුමාට නිර්දේශ කරන්න විතරයි

  • ඇමැති ජී. එල්. පීරිස්

අපට දොරේ සද්දෙයි, බෙරේ සද්දෙයි දෙකම තේරෙනවා.ජී.ඇල්. පීරිස් මහතා මේ දෙකටම තට්ටු දානවා

  • මන්ත්‍රි අනුර කුමාර දිසානායක

ඇත්ත වශයෙන්ම අපට විදේශ ආයෝජනලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා යම් යම් දේ කළ යුතුයි

  • ඇමැති අලි සබ්රි

අවුරුදු 500ක් යුරෝපා පාලනයට යටත් වෙලා ඉඳලා ලබාගත් උත්තරීතර නිදහස වරාය නගර කොමිෂම හරහා නැති කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා

  • මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න

උතුරු නැඟෙනහිර සංවර්ධනය කරනවා වගේම මේ රටේ ආර්ථික සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා

  • ඇමැති නාමල් රාජපක්ෂ

කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් සම්ප්‍රදායික ආර්ථිකය වෙනස් මගකට ගමන් කරන අතර රට සංවර්ධනය කරන කාර්මික වැඩපිළිවෙළකට පිවිසෙන බවත් මූල්‍ය නගරයේ දොරටුව ලෝකයට විවෘත වන බවත් සභානායක සහ විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවැසීය. ඒ මහතා මේ බව කියා කොළඹ වරාය නගරය පනත දෙවැනි දින විවාදයට එක් වෙමිනි.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (20) රැස්විය. නිවේදන, ලිපි ලේඛන, පෙත්සම් වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් ඇසූ ප්‍රශ්නවලට ඇමැතිවරු පිළිතුරු ලබා දුන්හ.

  • කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි දින විවාදය ආරම්භ විය.

මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා- අවුරුදු 500ක් යුරෝපා පාලනයට යටත් වෙලා ඉඳලා ලබාගත් උත්තරීතර නිදහස වරාය නගර කොමිෂම හරහා නැති කරන්න මේ ආණ්ඩුව උත්සහ කරනවා. අපි අද නිදහස් ස්වෛරී ජාතියක් ලෙස වැජඹෙන්නේ, අයිතිවාසිකම් භුක්ති විඳින්නේ ඒ නිදහස නිසිය. නමුත් දේශප්‍රේමය විකුණගෙන බලය ලබාගත් මේ ආණ්ඩුව මොකද කරන්නේ ?. චීනය, ඉන්දියාව, අමෙරිකාව මැද අපේ නිදහස පාපන්දුවක් කරන්න ආණ්ඩුව කටයුතු කරනවාද කියන සැකය මතු වෙනවා. එක පනතක් වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 26 වතාවක් උල්ලංඝනය කරලා තියෙනවා. වරක් දෙවරක් නොවෙයි 26 වතාවක්. අවාසනාව කියන්නේ මේ පනත ඉදිරිපත් කළේ ජනාධිපතිතුමා. නව වතාවක් ජනමත විචාරණයකට යන්න වෙන තරමට උල්ලංඝනය කරලා තියෙනවා, 17 වරක් තුනෙන් දෙකක බලයක් අවශ්‍ය තරම් ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා. මෙය ශ්‍රේෂ්ඨාධිකරණය ආපස්සට හැරෙව්වා.කියන්න ඕනෑ. අපි වරාය නගරයට විරුද්ධ නෑ. ඒක අපි අවධාරණයෙන් කියනවා. හැබැයි අපි කොළඹ වරාය නගර ආර්ථික කොමිෂම පනත් කෙටුම්පතට විරුද්ධයි. අපි නිවැරැදි බව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය තුළ තහවුරු වුණා. ශ්‍රේෂ්ඨාධිකරණ සලකා බැලුවේ පණත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද ? යන්න පමණයි. මේක ඓතිහාසික වගේම තීරණාත්මක පනතක්. අන්න ඒ නිසා මේ පනතේ අරමුණ, ප්‍රශ්න ගැන අපි අනිවාර්යයෙන් සළකා බලන්නට ඕනෑ. දේශපාලන, සමාජීය, ආර්ථික, වගේම විදේශ සම්බන්ධතා ගැන සලකන්න වෙනවා. ජාතික අභිලාෂය අනූව ප්‍රතිපත්තිය සකස් කිරීම පාර්ලිමේන්තුවේ වගකීමක් නියෝජ්‍ය කථානයක රන්ජිත් සියඹලාපිටිය මහතා මුලසුනට පැමිණියේය.

ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා- කොළඹ වරාය නගර පනත අද සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව රැස්වෙලා තිබෙන මොහොතක්. අපේ රටේ ආර්ථිකයට විශාල ශක්තියක් එකතු කරන පනත පිළිබඳ විවාදයට සහභාගි වීහ වැදගත්.

2014 සැප්තැම්බර් 17 වැනි දා එවකට ජනාධිපති අද අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දැක්ම අනුව ආරම්භ කළ, එතුමාගේ ආරාධනයෙන් ලංකාවට පැමිණි චීන ජනාධිපති ෂී ජි පින් මැතිතුමා ද එක්වී වාරය නගරයට මුල් ගල තැබූවා. මෙය ශ්‍රී ලංකාවේ දැවැන්ත ආර්ථික ශක්තියකට පිවිසෙන මාර්ගයක් බවට ආරම්භ වුණා. ඒ සමඟම චීනේ සමඟ තිබෙන ජාත්‍යන්තර සංවර්ධන ක්‍රියාදාමයට අපි එක් වුණා.සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අපේ දේශයේ මුහුදු තීරය ව්‍යාප්ත කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමා වරාය නගර ව්‍යාපෘතිය මඟින් අපේ මුහුද ගොඩකරලා අපේ මාතෘභූමිය මහපොළොව තවත් පුළුල් කළා. මෙවැනි ඓතිහාසික අවස්ථාවකට කොළඹ නගරයේ පිවිසුණා. වැදගත් ක්‍රියාදාමය මත ගොඩනැඟෙන ඒ අනාගතය ශක්තිමත් කරන අවස්ථාවකට මේ පනතට පසුගිය ආණ්ඩු කාලයේ විවිධ උත්සාහයන් තුළින් කඩාකප්පල් කිරීමට භාජනය වුණා. අවුරුදු ගණනාවක් අපිට තිබ්බ අවස්ථාවක් පසු බැස්සා. අද කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට මම සඳහන් කරන්න කැමතියි ඒ ක්‍රියාමාර්ග කොළඹ එකතු කරලා ඒ ක්‍රියාමාර්ගය තුළින් අපේ දිස්ත්‍රික්කයට පමණක් නොව අපේ ලංකා සිතියමටද වැදගත් ජයග්‍රහණයක් එක් කර තිබෙනවා.නිදහසෙන් පස්සේ 1978 කොළඹ ආර්ථික කොමිෂන් සභාව ගෙනාවා. එදා ඇති කරපු නීති මාලාව කියවලා බලන්න. ඒ නීති මාලාව තුළ බොහෝ විවේචන වලට ලක් වුණා.

චීනට කවුරුත් බයක් දක්වනවා. චීනය බිහි වෙච්ච දවසේ ඉඳන් කට්ටිය බය දක්වනවා. ඒක චීන උරුමය අපි චීනයත් එක්ක ගනුදෙනු කරන්නේ මිත්‍ර රටක් හැටියට. අපේ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ ඔබේ ආණ්ඩුව. චීනය සමඟ ගිවිසුම් වලට ඇවිල්ලා තිබෙනවා. ඔවුන් අපේ මිත්‍රයෙක්. අපේ මිත්‍රත්වය සැක තියෙන රටවල් චීනය බිහි වූ දවස ඉදල හෙළා දැක්කා. අන්තිමට ඒ රටවල් තානාපති සබඳකම් වත් පිළිගත්තේ නැහැ.

අපේ දේශීය කර්මාන්ත සහ කර්මාන්තකරුවන් ව්‍යාපාරිකයන්ගේ ශක්තිය ගැන විශ්වාසය තබමින් කටයුතු කළ මන්ත්‍රීවරයෙක් හැටියට මේ ඇතිවන නව නිෂ්පාදන හරහා අපේ දේශීය ව්‍යාපාරික පන්තියට සුවිශේෂී අවස්ථාවක් මේක. සැම විටම මෙමඟින් සාර්ථකව කටයුතු කිරීමට හැකියාව ලැබෙන බව මේ වේලාවේ පෙනී යනවා.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා- කොළඹ වරාය නගරය ආශ්‍රිත පනත් කෙටුම්පත විවාදයට භාජන වන මේ අවස්ථාවේ එය අපි විග්‍රහ කරන්නේ ජාතියේ මහා ඛේදවාචකයක් හැටියට. අපි පිළිගන්නවා වරාය නගර ව්‍යාපෘතිය අපේ රටේ සංවර්ධන ගමනට හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් කරගන්න අපිට පුළුවන් වෙයි කියල. අපි තරයේ විශ්වාස කරනවා ඒ පිළිබඳව ධනාත්මක ප්‍රගතිශීලී මතයක ඉඳගෙනයි මේ යථාර්ථවාදී විවේචන අපි ඉදිරිපත් කරන්න අදහස් කරන්නේ. මේ අගතිගාමී වැඩපිළිවෙළ තුළ අපට පෙනී යන්නේ මෙම වරාය නගර කොමිෂන් සභා පනත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නූතන යුගයේ දේශද්‍රෝහී ක්‍රියාවක් හැටියට. පළවැනි ඛේදවාචකය මොකක්ද කියලා. ගිය සතියේ කථානායක කාර්යාලයෙත් කොරෝන ප්‍රශ්න තිබුණා. මහලේකම් කාර්යාලයේ කොරෝන ප්‍රශ්නයක් තිබුණා. වේත්‍රධාරී කාර්යාලයෙත් ඒ වගේ කොරෝන ප්‍රශ්නයක් තිබුණා. නමුත් ඒ කිසිවක් නොතකා අද මේ පාර්ලිමේන්තුව රැස් වෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, පක්ෂ නායක රැස්වීම තිබුණේ දහතුන් වැනිදා. අපි දොළොස් වැනි දා ඉදල උන දේවල් බැලුවොත් කොරෝනා ආසාදිතයින් දිනෙන් දින වැඩි වෙලා තිබෙනවා. ඊයේ වෙනකොට මරණ ප්‍රමාණය මෙතෙක් වාර්තා වූ වැඩිම ගණන වාර්තා වෙලා තිබෙනවා.

ඇමැති ජී. එල්. පිරිස් මහතා- මේ රටේ ජනතාවත් මේ පනතට විරුද්ධයි. රටේ අලුත් රැල්ලක් නිර්මාණය වෙමින් යනවා.භූ දේශපාලනය සම්බන්ධවත් මම වචනයක් එකතු කරන්නට කැමැතියි. අපි හැම දෙයින්ම රටට ලැබෙන comparative advantage එක නැත්නම් සාපේක්ෂ වාසි, සිතා බැලිය යුතුයි.

මේ රටට විදේශ විනිමය අවශ්‍යය බව අපි දන්නවා . කොළඹ වරාය නගරය අමුතු විදියේ බිල්ලෙක් කියලා ඇතැම් අය හදුන්වා දෙනවා. පාර්ලිමේන්තුවට තමයි අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මූල්‍ය බලය තියෙන්නේ. මහජන මුදල් පරිපාලන බලය තිබෙන්නේ කාටවත් නොවෙයි. මේ උත්තරීතර පාර්ලිමේන්තුවට. එය උදුරා ගන්න දියාරු කරන්න කිසිසේත් පුළුවන් කමක් නැහැ. මේ බලය අඹමල් රේණුවකින් අඩු වෙන්නේ නෑ. අපිට ආයෝජන අවශ්‍ය නම් දිරි ගැන්වීම් බදු සහන දෙන්න ඕනෑ. ඒ සහන මොනවද මොන අවස්ථාවේද කියන රෙගුලාසි මේ පාර්ලිමේන්තුවේදී සම්මත වෙන්න ඕනෑ. එය ප්‍රතික්ෂේප වෙනවා නම් ඒ බදු සහන ලැබෙන්නේ නැහැ.එතනින්ම එය ප්‍රතික්ෂේප වෙනවා. පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ බලයට කිසිදු හානියක් නැහැ. බදු සහන තීරණ ගන්නේ කැබිනට් මණ්ඩලයයි. කොමිෂන් සභාවට පුළුවන් මේ සහන දෙන්න කියා ජනාධිපතිතුමාට නිර්දේශ කරන්න විතරයි. එහිදි මුදල් ඇමැතිතුමාගෙන් විමසා කැබිනට් මණ්ඩලය අනුමත කර සති දෙකක් තුළ ගැසට් එකක් නිකුත් කරන්න ඕනෑ. ඉන් පසුව දින 30ක් කිසිවක් කරන්න බැහැ. නිර්ණායක උල්ලංඝණය වන ලෙස බදු සහන දී තිබෙනවා නම් අධිකරණයට ගොස් දුක් ගැනවිලි ඉදිරිපත් කළ හැකියි. මේ මහා ලොකු බිල්ලෙක් මැවීම කිසිම නිතිමය යථාර්ථවාද පදනමක් නැහැ.

මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා- අපිට දොරේ සද්දෙයි බෙරේ සද්දෙයි දෙකම තේරෙනවා. ජී.ඇල්. පීරිස් මහතා මේ දෙකටම තට්ටු දානවා. වරාය නගරයෙන් මේ වන විට හෙක්ටයාර 62 ක් රජයට අයිතියි. චයිනා හාබර් සමාගමට හෙක්ටයාර 116 ක් අයිතියි .පොදු දෙවල් සඳහා හෙක්ටයාර 92 ක් තියෙනවා.මේ භුමියේ සංවර්ධන කටයුතු සිදු වෙන්නේ කොහොමද ?. මේකේ මූලික සැලසුම් හා නීති රීති හදන්නේ කවුද? . අපි මේකේ බදු සහන සම්බන්ධ නීතියක් සම්මත කරනවා.බදු පනවන්නේ කොහොමද කියලා සාකච්ජා කරනවා.පාර්ලිමේන්තුව සම්මත කරන නීති ප්‍රතිපාදනවලට මෙම සමස්ත භුමිය අයිති වෙනවද.මේ පනතට මධ්‍යගත නොවන පනත් 7 ක් තියෙනවා ,ඒ වගේම තවත් පනත් 14 ක් ගැන කතා බහක් තියෙනවා .මහජනතාවගේ මුල්‍ය පිළිබඳ සම්පූර්ණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට.රටේ ධනය අයිති මහජනතාවට .ජනතාව පාර්ලිමේන්තුවට 225 තෝරා පත්කර එවන්නේ ඒ ධනය ආරාක්ෂා කරන්නයි.

ඇමැති අලි සබ්රි මහතා- මේ කතා කරන අවස්ථාවේ දී විශාල බිල්ලෙක් මවා තිබෙනවා. මේ රටට කරන විශාල ද්‍රෝහි කමක් කියලා කිව්වා. ඇත්ත වශයෙන්ම අපිට විදේශ ආයෝජන ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා යම් යම් දේ කළ යුතුයි කියන එක අපි හැමෝම දන්නවා. මේ ප්‍රථම වතාවට නොවෙයි මෙවැනි බිල්ලෝ මවා තියෙනවා. මීට ඉස්සෙල්ලා අපි දන්නවා ලංකාවේ ගල්ඔය ව්‍යාපෘතියට මෙවැනි බිල්ලෙක් ගෙනල්ලා තියෙනවා. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය සඳහා මෙවැනි බිල්ලේ ගෙනල්ලා තියෙනවා. ඒ නිසා මේක අලුතින් ඇති කරන දෙයක් නොවෙයි.ලෝකයේ විවිධ රටවල විශේෂ ආර්ථික කලාප රාශියක් තිබෙනවා.

2019 වන විට ලෝකේ විශේෂ ආර්ථික කලාප 5387ක් තියෙනවා. මේ වෙන කොට සමහර ඒවා සාර්ථකයි. සමහර ඒවා අසාර්ථකයි. අපි මේ තරඟ කරන්නේ මේ කලාපයත් එක්ක. අපි මේ තරග කරන්නේ දකුණු කොරියාවත් එක්ක. අපි තරග කරන්නේ ඉන්දියාවත් එක්ක. අපිට තරග කරන්නේ මැලේසියාවත් එක්ක. අපි තරග කරන්නේ ඩුබායි එක්ක. මේගොල්ලෝ මේ උත්සාහ කරන්නේ ඒ තරගකාරීත්වයට අනිසි වාසියක් ලබා දීලා බිල්ලෙක් මවන එකයි. වෙන දෙයක් නොවෙයි. ඇත්ත වශයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂයෙන්ම ප්‍රකාශ කරලා තියෙනවා මේ කියන යම් යම් දේවල්වලට සාපේක්ෂව රටේ කිසිදු නීතියක් උල්ලංඝණය වෙන්නේ නෑ කියලා.මේ නීති සම්පාදනය පිළිබඳ අබමල් රේණුවක තරම්වත් අදහසක් තියෙනවා නම් මේ ඔබ්නොක්ෂස් කියන වචනය අල්ලගෙන මේ කතාව කියන්නේ නෑ. නීති සම්පාදනය කිරීමේදී අපි හැමෝම දන්නවා අපි හඳුනා ගන්න අවශ්‍යතාවලට අනුව නීතිපතිතුමාට කියනවා නීතියක් සම්පාදනය කරන්න කියලා. එය ලැබුණට පස්සේ එය අවස්ථාවට අනුකූල ද කියලා නීතිපතිතුමා ලබා දෙනවා. නීතිපතිතුමා ඒ විදියට දුන්නට පස්සේ ගැසට් කරනවා. ගැසට් කලාට පස්සේ මිනිස්සුන්ට මේක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් තොරතුරු තියෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ විරුද්ධව නොවෙයි. 129 වන වගන්තියෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන්නෙ උපදේශාත්මක අධිකරණ බලයක්. මේ රටේ නීතියක් හදන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහනවා ,අපි මෙහෙම නීතියක් හදන්න උත්සාහ කරනවා ඒක මේකට ගැලපෙනවද යම් යම් වෙනස්කම් කරන්න ඕනේ ද කියලා.

දිවා විවේකයෙන් පසු ජලසම්පාදන හා ජලාපවාහන අැමැති වාසුදේව නානායක්කාර මහතා විවාදය ආරම්භ කරමින් මෙසේ පැවසීය.

අැමැති වාසුදේව නානායක්කාර-මේ වරාය නගරයේ දේශපාලනය කුමක්ද කියන එකගැන යොමු වෙන්නයි මම බලාපොරොත්තු වෙන්නේ.ලංකාවේ ආර්ථිකය ස්වාධීන ජාතික ආර්ථිකයක් වෙන්න නම් අපි යැපීමෙන් නිදහස් වෙන්න ඕනෑ.අද අපි ඉන්නා වූ ආදායම් තත්ත්වය විදේශ විනිමය තත්ත්වය අනුව බැලුවම අපි ඉන්නේ යැපීම් තත්ත්වයක.ලෝකේ ස්වාධීනත්වයක් අපට ප්‍රකාශ කිරීමට පුළුවන්කමක් නෑ. අපි කවුරුත් දන්නවා ආර්ථිකයේ බල ප්‍රමාණය අනුව තමයි ස්වාධීනත්වය තීන්දු වෙන්නේ.ඒ නිසා වරාය නගරය අපට තීරණාත්මක සාධකයක්.මේ මඟින් මේ රටේ විනිමය පැත්තෙන් ඇති වෙන විශාල ශක්තිය අපිට ජාතික ආර්ථිකයක් හැටියට කෙලින් ඉන්නට පුළුවන් හැකියාවක් අපට ලබා දෙන බව මගේ අදහසයි.ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය කියන ඒක අපේ වාමාංශිකවාදී න්‍යාය තුළ තිබෙන්නා වූ වචනයක්. අපි ජාතික නිදහස් තත්ත්වයක් ඇති කර ගන්නනම් පළමුවෙන්ම යටත් විජිතභාවයෙන් මිදී අපිට වුවමනා කරන ජාතික ආර්ථික ශක්තිය ඇති කර ගත යුතුයි.අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මේ රටේ රසායනික පොහොර මත තිබෙන යැපීමෙන් මිදෙමින් විදේශයන්ගෙන් ගෙන්වන බීජමත තිබෙන යැපීමෙන් නිදහස් වී කෘෂි රසායනික යෙදීමෙන් නිදහස් වී රටේ කෘෂි ආර්ථිකයක් ගොඩනැඟීමට ගන්නා වූ උත්සාහය මේ වරාය නගරය තුළින් විදේශ සම්පත් පිළිබඳ ලබන්නා වූ ශක්තිය වැඩි කරගන්නා වූ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයට අත්‍යවශ්‍ය සාධකයක්.අපට වාදකරන්නත් ඕනෑ නෑ.මේ වරාය නගරය අපේ රටට තිබුණු ප්‍රදේශයක් නොවෙයි.ඒක අලුත් භූමි ප්‍රදේශයක්. ඒ භූමි ප්‍රදේශය ඇති වෙන්නේ චීන සමාගම ඒ වෙනුවෙන් වියදම් කරලා එය හැදීමට ඉදිරිපත්වීම නිසයි. මේ වගේ ඒවා අප්‍රිකාවේ, මැදපෙරදිග,ආසියාවේ, යුරෝපයේ චීනය මැදිහත් වීමෙන් හදලා තියෙනවා.

ඇමැති නාමල් රාජපක්ෂ මහතා- එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ අපේ රටේ නාවික හා ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ හැදුවා. ඒ අනුව එදා එල්ටීටීඊ ත්‍රස්තවාදීන් එක්ක යුද්ධය කළා විතරක් නොවෙයි. උතුරු නැඟෙනහිර රටේ සංවර්ධනය කරනවා වගේම මේ රටේ ආර්ථික සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා. එදා නිකන් හරි රටේ මතයක් ගොඩනඟන්න උත්සාහ කළා. යුද්ධය අවසන් කර රට සංවර්ධනය කරන්න ඕනේ නැහැ කියලා සමහර විට අද අපේ රටේ අධිවේගී මාර්ග, ගුවන් තොටුපොළවල්, වරායවල් ඉදි නොවෙන්න තිබ්බා. හැබැයි කෙසේ වෙතත් එදා එක පැත්තකින් සටන් වදිනකොට මේ රටේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ආරම්භ කළා.

එදා සැලැස්ම තිබ්බේ මේ රට නූතනත්වයට අරගෙන යන්න. අපේ රටේ විරැකියා ප්‍රතිශතය සෑම විටමටම 20%ක සීමා වී තිබුණ. නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ හැකියාව ලැබුණා එය සියයට 10/ 12ට කරන්න. හැබැයි අපි දැක්කා අපේ රටේ තරුණයාගේ අවශ්‍යතාවයන් රැකියා වෙළඳ පොළේ අවශ්‍යතාවයත් අතර ලොකු වෙනසක් තිබුණා. ඒ අනුව තමයි වෘත්තිය පුහුණු වගේම අනිත් පැත්තෙන් කෘෂි කර්මාන්තය, ධිවර කර්මාන්තයට තාක්ෂණය හඳුන්වා දෙන්න කටයුතු කළේ.මේ සියල්ලත් එක්කම අධ්‍යාපනය කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් අපේ රටේ ගොඩනැඟිය යුතුයි කියන එක අපේ රටේ ගොඩනැඟුණා. ඒක අලුත් සංකල්පයක් නොවේ.

ඉතින් ඒ අනුව වරාය නගරය කියන්නේ මොකක්ද? කට්ටිය නොයෙක් ආකාරයට මෙම අර්ථකථනය කරන්න උත්සාහ කරන්න හදනවා. බී.ඕ.අයි. එක පිහිටවන අවස්ථාවේ මේ වගේම විවිධ විවේචන එල්ල වුණා. එහි යම් යම් වෙනස්කම් සිදුවේ යුතුයි. අපි ඒ පිළිගන්නවා. නමුත් එමඟින් මේ රටේ කාර්මික විප්ලවයට සූදානම් වෙච්ච දරුවන්ගේ රැකියා ටික බිහි වෙනවා. එතනින් එහාට උගත් බුද්ධිමත් සහ නිපුණතාවයකින් යුතු දරුවන්ට රැකියා අපි උත්පාදනය කරන්න ඕනෑ. මෙම පෝට් සිටි එකෙන් බලාපොරොත්තු වෙන්නේ අන්න ඒක නිර්මාණය කරන්න පුළුවන් ආයෝජන ගේන්න.

බී.ඕ.අයි. එකයි මේකයි සංසන්දනය කරන්න බෑ. මොකද මේ දෙක කාරණා දෙකක්. පහුගිය කාලයේ විපක්ෂ විසින් මේක චීන කොලනියක් කියලා කියන්න උත්සාහ කළා. ඒ අය පස්සේ කියනවා අපි මේකට උදව් කරන්න ලෑස්තියි. මේ කියන වෙනස්කම් කරන්න කියලා.

ඒ වගේම මේ තුළ රටට ආයෝජන ගේන කොට ඒ තුළින් ඇතිවන රැකියා තුළින් අපි උත්සහ කරන්න ඕන අවම වශයෙන් සියයට අසූවක් අණුවක් වත් ලාංකිකයින්ට රැකියා දෙන්න. හැබැයි ලාංකිකයින්ට ඒක දෙනකොට අපේ පැත්තෙනුත් වගකීමක් තියෙනවා. ඒ තමයි අපේ රටේ තරුණ පරම්පරාව ඒකට සූදානම් කරන එක. ඒකට අවශ්‍ය දැනුම දෙන එක. අවශ්‍ය අධ්‍යාපන දෙන එක. ඒ නිසා තමයි වෘත්තිය පුහුණු අමාත්‍යාංශය නයිටා එක ජපන් ටෙක් එක මේ සියල්ල ඒකරාශී කරගෙන අපි අලුත් අධ්‍යාපන වැඩසටහන් කරන්න උත්සාහ කරන්නේ. මේ වෙනකොට එය සාර්ථක වෙමින් තිබෙනවා.

මේ තුළ ඇති වන ආයතනවලට අවම 75% ක් වත් ශ්‍රී ලාංකික රැකියා ඇතිකර ගත යුතුයි කියලා අපි කියනව. හැබැයි ඒ සඳහා පැය සුදුසු නැත්නම් ඒ අවශ්‍ය කට්ටිය රටින් ගේන්න හෝ අවස්ථාව ලබා දෙන්න ඕන. ක්‍රීඩා කණ්ඩායම් ගත්තත් ජාතික සංචිතයත් විදේශ පුහුණුකරු ඉන්නවා .එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ වගකීම තමයි ඒ අවශ්‍ය පුහුණුකරුවන් නිර්මාණය කරලා හදන එක.

Related posts

Leave a Comment