ෆෙන් ෂුයි ප‍්‍රතිමාවක සගවා කුඩු විකුණලා – හතළිස්දහසක හෙරොයින් සමග සැකකරු පානදුරින් අල්ලයි!

චීන ෆෙන් ෂුයි ප‍්‍රතිමාවක සඟවා හෙරොයින් මත්කුඩු අලෙවි කළ පුද්ගලයකු රුපියල් හතළිස් දහසකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සමගින් ඊයේ (20 දා) දහවල් අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පානදුර, මෝදරවිල ප‍්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

බුද්ධි අංශ විසින් ලබාදුන් තොරතුරක් මත සැරයන් ප‍්‍රියන්ත අමරදිවාකර ඇතුළු පොලිස් කණ්ඩායම පානදුර වෙළෙඳ පොළේ පිහිටි සැකකරුගේ මාළු ලෑල්ල පරීක්ෂා කිරීමේදී එහි රඳවා තිබූ චීන ෆෙන් ෂුයි ප‍්‍රතිමාවක සඟවන ලද හෙරොයින් මත්කුඩු මිලිග‍්‍රෑම් 2500 ක් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, පොලිස් අධිකාරී 1 උදය අමරතුංග, ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. වනිගතුංග, අපරාධ අංශ ස්ථානාධිපති උ.පො.ප. පාලිත කන්නන්ගර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි සැරයන් ප‍්‍රියන්ත අමරදිවාකර (58801) මහතාගේ ප‍්‍රධානත්වයෙන් පො.කො. මධුෂාන් (92915) සහ බුද්ධි අංශ නිලධාරීන් වැටලීමට එක්වූහ.

Related posts

Leave a Comment