ශ්‍රී ලංකාවට ලකුණු 33ක පරාජයක්, වනිඳුගේ සටන අපතේ යයි

බංග්ලාදේශ කණ්ඩායම ‘මීර්පූර්හි ශ්රේ’ බංග්ලා ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 33ක පරාජයක් උරුම කර ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. ඒ වනිඳු හසරංගගේ සටන්කාමී ඉනිම අපතේ යැවූ සෙසු පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙනි. මේ සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරකයෝ සමත් වූහ. තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 6ක් දැවී ලකුණු 257ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 48.1කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 224ක් පමණි.

ලකුණු 258ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස ලකුණු 21ක් රැස් කර සිටි ධනුෂ්ක ගුණතිලක දවා ගැනීමට පන්දු යැවූ මෙහෙදි හසන් සමත් වූයේ ඔහු විසින්ම උඩ පන්දුවක් රැක ගනිමිනි. මුළු ලකුණු 30දී පළමු කඩුල්ල අහිමි වූ ශ්‍රී ලංකා පිලට තවත් ලකුණු 11ක් තුළ දෙවැනි කඩුල්ල අහිමි කරමින් පැතුම් නිශ්ශංක ලකුණු 8කට දැවී ගියේය. අනතුරුව පළමු වරට කණ්ඩායමේ නායකත්වය සහ උප නායකත්වය හිමි වූ කුසල් යුගලය (පෙරේරා සහ මෙන්ඩිස්) පිටියේ එක් වූ අතර, ඔවුන් දෙදෙනාගේ තෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 41කට සීමා විය. ශකීබ් අල් හසන්ගේ පන්දුවකට මෙහෙදි හසන් උඩ පන්දුවක් රැක ගැනීම හේතුවෙන් උපනායක කුසල් මෙන්ඩිස්ට රැස් කළ හැකි වූයේ ලකුණු 24ක් පමණි.

යළි ක්‍රියාත්මක වූ මෙහෙදි හසන් ලකුණු 8ක් තුළ පිතිකරුවන් තිදෙනකු දවා ගනිමින් ශ්‍රී ලංකා පිල අසීරු අඩියකට ඇද දැම්මේය. නායක කුසල් පෙරේරා ලකුණු 30කට දැවී ගිය අතර, ධනංජය ද සිල්වා ලකුණු 9කට සහ අශාන් බණ්ඩාර ලකුණු 3කටත් දැවී ගිය පිතිකරුවන් අතරට එක් වූහ. අනතුරුව පිටියට පිවිසි හසරංග දසුන් ශානක සමඟ එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 149 දක්වා ඉදිරියට ගෙන ගිය අතර, ශානකගේ ඉනිම ද ලකුණු 14කින් නතර විය. එහෙත් ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තු අත් නොහැරි හසරංග 8 වැනි කඩුල්ලට ඉසුරු උදාන සමඟ එක්ව ඉනිම ගොඩනැඟුවේය. සිය දෙවැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ හසරංග සමඟ උදාන ද පිට පිට පන්දු 2කින් දැවී යෑමෙන් ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු සුන් විය. හතරේ පහර 3කින් සහ හයේ පහර 5කින් ඉනිම වර්ණවත් කර ගත් හසරංග පන්දු 60කින් ලකුණු 74ක් රැස් කළ අතර, උදාන රැස් කළේ ලකුණු 21ක් පමණි.

මුෂ්ෆිකූර් රහීම් සහ මහමුදුල්ලා එක්ව 5 වැනි කඩුල්ලට ගොඩනැඟූ ශතක සබඳතාව හේතුවෙන් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිලට ලකුණු 250 සීමාව පසු කිරීමට හැකි විය. මුළු ලකුණු 5දී ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලිටන් දාස් ලකුණු රැස් කිරීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට දුෂ්මන්ත චමීර සමත් වූ අතර, වැඩි බලාපොරොත්තු තබා සිටි පිතිකරු වූ ශකීබ් අල් හසන්ගේ ඉනිම ලකුණු 15කට සීමා කිරීමට ධනුෂ්ක ගුණතිලකට හැකි විය. ලකුණු 43කට කඩුලු 2ක් බිඳ වැටුණ ද එක් අන්තයක් රැක ගත් නායක ටමීම් ඉක්බාල් තෙවැනි කඩුල්ලට පිවිසි මුෂ්ෆිකූර් සමඟ එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 99 දක්වා ඉදිරියට ගෙන ගියේය.

පන්දු 70කදී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 52ක් රැස් කර සිටි ටමීම් දවා ගනිමින් 23 වැනි ඕවරයේ පස්වැනි පන්දුවෙන් එම සබඳතාවට තිත තැබූ ධනංජය ද සිල්වා ඊළඟ පන්දුවෙන් මොහොමඩ් මිතුන් ලකුණු රැස් කිරීමට පෙර යළිත් ක්‍රීඩාගාරයට හරවා යැවුවේය. මේ ක්‍රීඩකයෝ දෙදෙනාම කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූහ. ටමීම් ඊයේ රැස් කළේ 51 වැනි එක්දින අර්ධ ශතකයයි. අනතුරුව ඉනිමේ සාර්ථක සබඳතාව ගොඩනැඟීමට මුෂ්ෆිකූර් සහ මහමුදුල්ලා සමත් වූයේ මුළු ලකුණු සංඛ්‍යාව 208 දක්වා ඉදිරියට ගෙන යමිනි. සිය 40 වැනි එක්දින අර්ධ ශතකය ලෙස ලකුණු 84ක් රැස් කර සිටි මුෂ්ෆිකූර් දවා ගනිමින් එම සබඳතාව නතර කිරීමට ලක්ෂාන් සඳකැන්ට හැකි වූයේ ඉසුරු උදාන උඩ පන්දුවක් රැක ගැනීම හේතුවෙනි. පන්දු 87කට මුහුණ දුන් මුෂ්ෆිකූර් හතරේ පහර 4ක් සහ හයේ පහරක් එල්ල කර තිබිණි.

තවත් ලකුණු 22ක් ඉනිමට එක් වෙද්දී තෙවැනි කඩුල්ල සටහන් කර ගනමින් බංග්ලාදේශ ඉනිමට තෙවැනි අර්ධ ශතකය එක් කළ මහමුදුල්ලාගේ ඉනිම නිමා කිරීමට ධනංජය ද සිල්වා සමත් විය. පන්දු කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී යන විට පන්දු 76කදී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 54ක් රැස් කර තිබුණේ 24 වැනි එක්දින අර්ධ ශතකය ලෙසිනි. ඉනිම නිමා වන විට අෆීෆ් හොසේන් නොදැවී ලකුණු 27ක් සහ මොහොමඩ් සයිෆුඩීන් නොදැවී ලකුණු 13ක් රැස් කර තිබිණි. හෙට (25) දෙපිල අතර, දෙවැනි එක්දින තරගය මේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතයි.

Related posts

Leave a Comment