උපදෙස් නොතකා PCR කළොත් ආසාදිතයන්ට ප්‍රතිකාර රෝහලේම වියදමින්

සෞඛ්‍ය අමාත්‍යාංශ මාර්ගෝපදේශ නොතකා පෞද්ගලික රෝහල් සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණවලින් කොවිඩ් ආසිදිතයන් වාර්තා වුවහොත් ඒ සියලු දෙනාට අදාළ පෞද්ගලික රෝහල්වල වියදමෙන් ප්‍රතිකාර ලබා දිය යුතු බව කොවිඩ් කමිටුව දැනුම් දී ඇත.

එමෙන්ම නියමිත ධාරිතාවය ඉක්මවා පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන පෞද්ගලික රෝහල්වලට ලබා දී ඇති බපත්‍රයද අහෝසි කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන දැනුම් දී ඇත.

මේ සම්බන්ධව මාර්ගෝපදේශ අදාළ පෞද්ගලික රෝහල් වෙත යවන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කොවිඩ් කමිටුවේ දී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති නිර්දේශ නොතකා දිගින් දිගටම පෞද්ගලික රෝහල්වලින් පී.සී.ආර්. පරීක්ෂණ අක්‍රමවත් ලෙස සිදු කිරීමෙන් කොවිඩ් ව්‍යාප්තියක් සිදුවන බව කොවිඩ් කමිටුවේදී අනාවරණය කර ඇත.

අක්‍රමවත් ලෙසින් සිදුවන මෙවැනි මාෆියා නැවැත්වීමට වහාම පියවර ගත යුතු බව ජනාධිපතිවරයා කොවිඩ් කමිටුව හමුවේ අවධාරණය කර ඇත.

පෞද්ගලික රෝහල්වල ක්‍රියාකාරකම් සම්බන්ධව ඇති වූ මෙම ගැටලුවලින් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කොවිඩ් කමිටුව දුන් නියෝග මත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මාර්ගෝපදේශ මාලාවක් යළි නිකුත් කළේය.

එම මාර්ගෝපදේශවලට අනුව පී.සී.ආර්. හා රැපිඩ් පරීක්ෂණ කළ යුත්තේ ප්‍රතිකාර නිශ්චය කිරීම භාර වෛද්‍ය විශේෂඥයා හෝ වෛද්‍ය නිලධාරියාගේ නිර්දේශ මත පමණි.

එම නිර්දේශ මත සාම්පල ගත් පසු ප්‍රතිඵල ලැබෙනතුරු ආයතනයක හෝ නිවසේ හුදෙකලාව සිටින ලෙස රෝගියාට නියම කළ යුතුයි. ඔහු කොවිඩ් ආසාදිතයකු වී නම් වහාම වසංගත රෝග ඒකකය, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට හා රෝගියාට දැනුම් දීමේ වගකීම පෞද්ගලික රෝහලේ වගකීමක් බව මාර්ගෝපදේශ මාලාවෙන් පෙන්වා දී ඇත.

Related posts

Leave a Comment