සැලුන් යන්න බැරි මේ කාලේ ගෙදරදීම ලස්සන වෙන්න ටිප්ස් 7 ක්.

සුන්දර වෙන්න අපි හැමෝම කැමතියිනේ. ඒත් ඉතින් මේ කාලේ සැලෝන් එකකට යන්නේ කොහොමද? ඒ වගේම රූපලාවන්‍ය සත්කාර කරගන්න වැයවන කාලය වගේම වියදමත් බොහොම ඉහළයි. ඒ විතරක් නෙවෙයි, සැලෝන් එකේදී වැඩිපුරම පාවිච්චි කරන්නේ රසායනික සංයෝග අන්තර්ගත නිෂ්පාදන නිසා ගොඩක් වෙලාවට ඒවා සමට හිතකර වෙන්නේ නැහැ. මේකට තියෙන හොඳම විසදුම තමයි ගෙදරදීම පහසුවෙන්ම සොයාගත හැකි ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා රූපලාවන්‍ය සත්කාර කරගැනීම. මේවාට ලොකු වියදමක් හෝ කාලයක් ගත වෙන්නේ නැහැ.

01. කෙසෙල් වලින් නිපදවූ ෆේස් මාස්ක්.

සමට බොහොම හිතකර පෝෂක ගුණවලින් පිරිපුන් පලතුරක් විදියට කෙසෙල් හඳුන්වන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් එහි  අන්තර්ගත වෙන්නේ විටමින් A, විටමින් B, විටමින් E සහ පොටෑසියම්. විටමින් A වලින් සම මත තිබෙන අඳුරු ලප අයින් කරලා සිනිඳු සමක් ලබා දෙන අතර විටමින් B වලින් සමේ වියළුණු ස්වභාවය තුරන් කරනවා. විටමින් E වලින් සම රැලි වැටෙන එක නවත්වන අතර පොටෑසියම් මඟින් සමෙහි තෙතමනය පවත්වා ගන්නවා.

සකස් කරගන්නා අයුරු :-

කෙසෙල් ගෙඩියක් ගෙන පේස්ට් එකක් ලැබෙන පරිදි හොඳින් පොඩි කර ගන්න. මේ සඳහා අවශ්‍ය වෙන්නේ හොඳට ඉදී ඇති මධ්‍යම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියක්. ඉන්පසු එම ආලේපය මුහුණේ ගල්වන්න. විනාඩි 10-20 තබා සීතල ජලයෙන් මුහුණ සෝදන්න. 

එසේ නැත්නම් පොඩි කරගත් කෙසෙල් ගෙඩියට යෝගට් කෝප්පයකින් කාලක් හා මී පැණි මේස හැඳි 2ක් මිශ්‍ර කරන්න. ආලේප කිරීමෙන් විනාඩි 20කට පසු සෝදන්න.

02. විනාකිරි වලින් නිපදවූ ෆේස් මාස්ක්.

ටෝනර් එකක් විදියට විනාකිරි ඈත අතීතයේ ඉඳන්ම පාවිච්චි . ඒ වගේම එහි ප්‍රතිඵලය එදා ඉඳන් අද දක්වාම හොඳ මට්ටමක පවතිනවා. මෙහි විනාකිරි ලෙස හඳුන්වන්නේ ඇපල් සයිඩර් විනාකිරි (apple cider vinegar).

ටෝනර් එකක් විදියට- මුහුණ සේදූ විගස වතුර කෝප්ප 2කට විනාකිරි මේස හැන්දක් මිශ්‍ර කර මුහුණ සෝදන්න.

ෆේස් මාස්ක් එකක් විදියට- වතුර සහ විනාකිරි කෝප්ප 1/4 බැගින් මිශ්‍ර කර මුහුණ සෝදා වේළෙන්නට ඉඩ දෙන්න. ටික වෙලාවකින් පිරිසුදු ජලයෙන් මුහුණ සෝදන්න.

03. කිරි වලින් නිපදවූ ෆේස් මාස්ක්.

කිරි පිටි කෝප්ප කාලකට, අවැසි තරම් ජලය මිශ්‍ර කර ඝන පේස්ට් එකක් සකස් කරගන්න. එය මුහුණේ ආලේප කරගෙන  විනාඩි 20ක් විතර තියෙන්නට හැර උණුසුම් වතුරෙන් සෝදන්න. මේ සත්කාරය කිරීමෙන් සම පැහැපත් වී යොවුන් පෙනුමක් ලබා දෙනවා.

04. ඕට්ස් වලින් නිපදවූ ෆේස් මාස්ක්.

බොහෝ දෙනෙක් තමන්ගේ උදෑසන ආහාර වේල විදියට ඕට්ස් (oats) ගන්නවා. ඕට්ස් කියන්නේ බොහොම පෝෂ්‍යදායි ආහාරයක්. ඒ වගේම ඉතාම පහසුවෙන් ඕනෑම සුපිරි වෙළඳසැලකින් මිලට ගන්න පුළුවන්. ආහාරයට ගැනීමට අමතරව ඕට්ස්වල වෙනත් ප්‍රයෝජන ගොඩක් තියනවා. ඕට්ස් ෆේස් මාස්ක් එක උත්සහ කරලා බලන්න.

ඕට්ස් කෝප්ප 1/3ක් මද උණුසුම් වතුර කෝප්ප භාගයකට එක්කර විනාඩි දෙක තුනක් තියන්න. ඊට බිත්තර සුදු මදයක් සහ  යෝගට් හා මීපැණි මේස හැඳි දෙක බැගින් එකතු කර හොඳට මිශ්‍ර කරගන්න. සිහින් ස්ථරයක් ආකාරයට මෙය මුහුණේ ආලේප කරගෙන පැය කාලකට පසු උණුසුම් ජලයෙන් සෝදා පිරිසිදු කරගන්න.

05. මයොනේස් ( mayonnaise) වලින් නිපදවූ ෆේස් මාස්ක්.

සැලඩ් වර්ග, බර්ගර් සහ සැන්ඩ්විච් වර්ග ඇතුළු බොහොමයක් ආහාර සකස් කිරීමට යොදාගන්නා මයොනේස් වලින් ෆේස් මාස්ක් එකක්? ඇත්තටම ඒක අමුතුවෙන් සකස් කරගන්න ඕනි නෑ. වෙළඳපලෙන් මිලදී ගන්නා මයොනේස් කෙලින්ම ස්ථරයක් විදියට ආලේප කරගෙන විනාඩි 20ක් ඉන්න. ඉන්පසු සීතල වතුරෙන් මුහුණ සෝදා පිරිසිදු කරගන්න. මෙමඟින්   මූණ පිරිසුදු කරන අතරම මෘදු කරනවා.

06.යෝගට් ෆේෂල් වලින් නිපදවූ ෆේස් මාස්ක්

සුන්දර වීමට යොදාගත හැකි හොඳම සහ පහසුම රූපලාවන්‍ය සත්කාරයක් තමයි යෝගට්. යෝගට් එකක් ගෙන මුහුණේ හොඳින් ආලේප කරගන්න. පැය කාලක් පමණ තබා මුහුණ සෝදන්න. බැබළෙන සහ සුසිනිඳු මූණක් ලැබී ඇති බව එවෙලේම ඔයාට දැනේවි. ඒත් ඔයාට ෆේස් මාස්ක් එකක් සකස් කරගන්න අවශ්‍ය නම් යෝගට් වලට අමතරව වෙනත් අමුද්‍රව්‍ය කිහිපයක් අවැසි වෙනවා. ඒ සඳහා ඔයාට අවශ්‍ය වෙන්නේ යෝගට් මේස හැන්දක්, බික් එකක පමණ මිරිකාගත් දොඩම් යුෂ සහ කෝමාරිකා. මුලින්ම යෝගට් සහ දෙහි යුෂ එක්කරන්න. ඉන්පසු කෝමාරිකා මද හෝ කෝමාරිකා ජෙල් තේ හැන්දක් එකතු කර හොඳට කලවම් කරන්න. මූණේ ආලේප කිරීමෙන් අනතුරුව විනාඩි 10ක් පමණ තබා සෝදා හරින්න.

07. අබ වලින් නිපදවූ ෆේස් මාස්ක්.

නිරන්තරයෙන් මූණේ විවිධ කුරුලෑ හා ආසාත්මිකතා ඇතිවන අයට තමයි මේ මාස්ක් එක සුදුසු. ක්‍රීම් එකක් ලැබෙනතුරු හොඳින් ඇඹරූ අබ, මූණේ ආලේප කිරීමෙන් අනතුරුව පැය කාලක් විතර තියාගෙන උණුසුම් ජලයෙන් සෝදා පිරිසිදු කරගන්න. මෙය අලේප කරගන්න කලින් අල්ලට යටින් එහෙම නැත්නම් කන පිටුපස වගේ සියුම් සමක් තියෙන තැනක මෙයින් පොඩ්ඩක් ආලේප කර ආසාත්මිකතා පරීක්ෂණයක් කරගන්න. එහි කිසිඳු වෙනසක් සිදු වෙන්නේ නැත්නම් පමණක් මූණේ ආලේප කරගන්න.

Related posts

Leave a Comment