බිස්කට් පැකට්ටුවක් දිගු කර පලායෑමට හැදූ තරුණයා ළඟ ලක්ෂයක කුඩු

ඉංගිරිය පොලිසිය බස්නාහිර-සබරගමු පළාත් මාර්ග බාධකයේදී ආරක්ෂක නිලධාරීන් වෙත බිස්කට් පැකට්ටුවක් දිගු කර සුහදත්වය පෙන්වා ඔවුන්ගෙන් මිදී පලායෑමට උත්සාහ ගත් තරුණයකු රුපියල් ලක්ෂයකට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. තම රෝගී බිරියට බෙහෙත් ගෙන යන මුවාවෙන් මෝටර් රථයකින් මොහු මත්කුඩු ප්‍රවාහනය කර ඇති අතර, සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් හයකට ආසන්න ප්‍රමාණයක්, වෛද්‍ය වාර්තා අඩංගු ලිපිගොනුවක් සහ බෙහෙත් පෙති පැකට් කිහිපයක් පොලිසිය විසින් සොයාගෙන ඇත. ‍ඉංගිරිය, නම්බපාන, කැටකැඩඇල්ල පාලම අසළ පොලිස් සහ යුද හමුදා මාර්ග බාධකයේදී අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අන්සතු ඉඩම් විකුණීම සහ මුදල් වංචා රැසක් සම්බන්ධයෙන් මීට මාස කීපයකට ඉහතදී ඔහු ඉංගිරිය පොලිසිය විසින්ම අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් බවට අනාවරණ වූ බව පොලිසිය කියයි. ඔහු කුලී පදනම මත මෝටර් රථය ලබාගෙන තිබූ බවත්, හොරණ එගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් අනාවරණය වී තිබේ.

Related posts

Leave a Comment