පාපන්දු නිලවරණයේදී පත් වන නිලධාරීන් දැනටමත් තෝරා ගෙන ඉවරයි

තවත් සතියක කාලයකින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වේ. පාපන්දු නිලවරණය ලබන මස 1දා කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර එහි සියලු නිලධාරීන් රහස් ඡන්දයෙන් තෝරා ගැනීමට නියමිතය. මෙවර පාපන්දු නිලවරණයේ සියලුම තනතුරු සදහා වැඩි පිරිසක් නාම යෝජනා භාරදීම හේතුවෙන් ප්‍රබල තරගකාරීත්වයක් හටගෙන ඇති අතර සභාපති තනතුරට වත්මන් ලේකම් ලේකම් යූ. එල්. ජස්වර්, පාපන්දු වෛද්‍ය කමිටුවේ වත්මන් සභාපති වෛද්‍ය මනිල් ප්‍රනාන්දු යන මහත්වරු තරග කරති.

පාපන්දු සභාපති අපේක්ෂක වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා පවසන්නේ ඉදිරි පාපන්දු නිලවරණයේදී පත්වන නිලධාරීන් දසදෙනා දැනටමත් නිවැරදිව තෝරා ගෙන ඇති බවත් තම කණ්ඩායමේ ජයග්‍රහණය ඉරහඳ මෙන් ස්ථීර බවය. නිවැරදි දැක්මක් සහිත වැඩ පිළිවෙළක් යටතේ පාපන්දුව දියුණු කිරීමට තම කණ්ඩායම සමත්ව සිටින බව කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවැසීය.

“මගේ ප්‍රධාන නිලධාරී කණ්ඩායමේ ඉන්නේ හරියටම දස දෙනයි. එක තනතුරට එක්කෙනයි. ඒ අය අතුරින් අත්දැකීම් බහුල ලේකම්වරයෙක් ලෙස අනුර ද සිල්වා මහතා සිටිනවා. අලුත්ම චරිත ගණනාවක් සිටිනවා. උප සභාපතිවරුන් ලෙස සායිෆ් යූසුප්, කංචන ජයරත්න, මන්නාරමේ ජී. ඒ. ඩේවිඩ්සන්, මාවනැල්ල ලීගයේ ගෆූර් යන මහත්වරු ඉන්නවා. නියෝජ්‍ය ලේකම්වරුන් ලෙස මාතර ලීගයේ ඉන්දික, වෙන්නප්පුව ලීගයේ රෝහිත, භාණ්ඩාගාරික තනතුරට සුදුසුකම් ලත් ත්‍යාගරාජ් හා සහය භාණ්ඩාගාරික ලෙස ඔඩ්ඩමාවඩි ලීගයේ තවුෆීක් යන මහත්වරු ඉන්නවා. මේ අය කිසිම චොදනාවක් නැති අය. මේ රටේ පාපන්දු ක්‍රීඩාව දියුණු කරන්න අප ඉදිරියේදී කණ්ඩායමක් ලෙස කැප වෙනවා. අප කාටවත් මඩ ගහන්නේ නෑ. අපේ ළග තියෙන්නේ වැඩ විතරයි“ වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා පැවැසීය.

“අපට අවුරුදු හතරකට ෆීෆා එකෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 7ක් ලැබෙනවා පාපන්දු දියුණුව වෙනුවෙන්. එක් එක් අංශ වෙත ලැබෙන මුදල් අප නිසි ලෙස ප්‍රයෝජනයට ගන්නවාද කියන එක ප්‍රශ්නයක්. ව්‍යාපෘති ඉද්රිපත් කළාම ඒ වෙනුවෙන් මුදල් ලැබෙනවා. ඇතැම් ව්‍යාපෘති ඉදිරිපත් නොවන නිසා අපට වසරකට ඩොලර් ලක්ෂ දෙකක් පමණ ලැබෙන්නේ නෑ. කොරෝනා නිසා ලැබුණේ නැති ඩොලර් ලක්ෂ දෙකක මුදල මේ වසරේ අපට ලැබුණා. කොරෝනා ඉවර වුණාම ඒ මුදල් ලැබෙන්නේ නෑ. උදාහරණයක් ලෙස කාන්තා පාපන්දු තරගාවලියට ඩොලර් 50000ක් ලැබෙනවා. ඒක ලැබෙන්නේ කොන්දේසි මතයි. මේ තරගාවලිය අප ගහලා නෑ. ලැබෙන මුදලින් කරන්න බෑ කියා පැත්තකට වෙලා ඉන්නවා. මගේ දැක්ම අනුව නම් ඒක නිදහසට කරුණක් නොවෙයි. කාන්තා පාපන්දු තරගාවලියට ලැබෙන මුදල් සමග අපේ අතින් හරි ඉතිරි සල්ලි දාලා තරගාවලිය කරන්න ඕනේ. මේකයි අපේ සංවිධාන ශක්තිය විය යුත්තේ“ ප්‍රනාන්දු මහතා පැවැසීය.

“දැන් නිදහසට කරුණු කියන්න කාටවත් බෑ. වැඩ කරලා පෙන්වන්න වෙනවා. අපේ පාපන්දු ක්‍රීඩාවට නිසි කැලැන්ඩරයක් නෑ. මා පැමිණි පසු වසරේ පාපන්දු සැලස්මක් හදනවා. මට අවශ්‍ය වන්නේ අපේ පාපන්දු තරගාවලි කලට වේලාවට කරන්නයි. පාපන්දුවට කියා හොද පහසුකම් සහිත අන්තර්ජාතික ක්‍රීඩාංගණයක් නෑ. ක්‍රීඩකයින්ගේ දත්ත යාවත්කාලීන වෙන්නේ නෑ. පුහුණුකරුවන්ගේ තත්තවය බලන්න. බැද්දගාන ක්‍රීඩාංගණයේ පහසුකම් බලන්න.

“ කෝප් කමිටුවේ මගේ තාත්තාගේ නම ගාවලා කතන්දර හදලා මගේ තාත්තාට මඩ ගහනවා. එහෙම කරලා මගේ ජයග්‍රහණය වළක්වන්න බෑ. මගේ තාත්තා මනිලාල් ප්‍රනාන්දු මහත්තයා වසර 9ක් පාපන්දු ක්‍රීඩාවෙන් ඈත් වෙලා ඉන්නේ. දැන් පාපන්දුවේ කොයි තරම් ප්‍රශ්න ති‍ෙයනවාද? මිලියන 48ක් අවභාවිතා වෙලා ඒක ඔප්පු වෙලා තියනවා. ඒවා ගැන ඇයි කතා නොකරන්නේ. මේවාගෙන් මාව දුර්වල කරන්න බෑ. ඡන්දේ දවසට බලා ගන්න පුළුවන් ලීග් කැමැති කාටද කියලා“ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙන් පසු පත්වන නිලධාරීන් වසරක කාලයකට පමණක් යැයි පැවැසීම විහිළුවක් බව ඒ මහතා පැවැසීය. අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ අදහස් අනුව නිලධාරීන්ගේ ධූර කාලය තීරණය වන්නේ යැයි ඒ මහතා පැවැසීය.

වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා විසින් මෙරටට පාපන්දු ක්‍රීඩාවේ දියුණුව සඳහා විධිමත් සවිස්තරාත්මක සැලැස්මක් යෝජනා කර ඇති අතර ඔහුගේ දැක්ම හා ක්‍රියාකාරී සැලැස්ම ඇතුළත් සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශනය Football First, Let’s Play! ලෙස නම්කොට ඇත. ක්‍රීඩාව ඕනෑම සමාජයක ගැඹුරට මුල් බැස ඇති විවිධාකාර බෙදීම් නොතකා එක ජාතියක් ලෙස තම අනන්‍යතාව ගොඩනඟා ගැනීම සඳහා උපකාරී වන මහඟු මෙවලමක් බවත්, බිලියන 4කට අධික ක්‍රීඩා ලෝලීන් සිටින, ලොව ජනප්‍රියතම ක්‍රීඩාව වන පාපන්දු ක්‍රීඩාවට නිසි වටිනාකමක් තවමත් ශ්‍රී ලංකාවේ නැති බවත් ඒ මහතා පෙන්වාදී ඇත. ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ සැලසුම් සෑදීමේදී, ක්‍රීඩාවේ නිසි ප්‍රගතියක් සහතික කිරීමට දීර්ඝ කාලීන සැලසුමකට අනුගතව, දූෂණ හා අනවශ්‍ය බලපෑම් තුරන් කරමින් ඒ සංවර්ධන සැලසුම ක්‍රියාවට නැංවිය යුතු බව ඒ මහතාගේ අදහස වේ.

මේ අරමුණ කරා යෑමට අත්‍යාවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන හිමි වී තිබුණ ද ඒ සඳහා අවශ්‍ය නිසි සැලසුම් ක්‍රියාවට නංවා නොතිබීම කනගාටුවට කරුණක් බවත් ක්‍රීඩාවේ උන්නතිය සඳහා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, නිසි පරිපාලන ව්‍යුහයක් හඳුන්වා දීම, ළමා හා තරුණ පාපන්දු ක්‍රීඩා තරගාවලි හා ඒ හා සම්බන්ධ සංවර්ධනය කරා දීර්ඝ කාලීන සැලසුමක් ක්‍රියාත්මක කිරීම, කාන්තා පාපන්දු කණ්ඩායම්, පුහුණුකරු අධ්‍යාපනය, තාක්ෂණික සහය සහ ඩිජිටල්කරණය වැනි අංග ඔස්සේ දිවෙන නිසි සැලසුමක් මඟින් අනාගතයේදී පාපන්දු ක්‍රීඩාව නිසි තැනට ගෙන ඒමට හැකි වනු ඇති බවත් මනිල් මහතාගේ අදහස වී තිබේ. මනිල් මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කියා සිටියේ ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති, ක්‍රීඩා කුසලතා පරිපූර්ණ ළමා හා තරුණ පරපුර සඳහා නිසි තරගාවලි ව්‍යුහයක් හඳුන්වා දීමෙන්, ඒ හැකියාවන් ඔප්නංවා ගැනීමට අත්‍යවශ්‍ය පසුබිම උදා කර දිය හැකි අතර, ඒ ඔස්සේ පාපන්දු ක්‍රීඩාවේ අනාගත ජාතික සංචිතය සඳහා අවශ්‍ය කුසලතා පරිපූර්ණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ නිසි ක්‍රමවේදයක්ද හඳුන්වා දිය හැකි බවයි.

Related posts

Leave a Comment