PCR කරන පෞද්ගලික අංශයේ මාර්ගෝපදේශ වල වෙනසක් – සෞඛ්‍ය අමාත්‍යාංශය

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ කොවිඩ්-19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා පී.සී.ආර් සහ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත පෞද්ගලික රෝහල් සහ රසායනාගාර සඳහා එම අමාත්‍යාංශ විසින් නිකුත් කර තිබූ මාර්ගෝපදේශ නැවත සංශෝධනය කර ඇති බවයි. එම රෝහල් සහ රසායනාගාරවල පී.සී.ආර් සහ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සම්බන්ධයෙන් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ නිවේදනයක් නිකුත්කරමින් ඉල්ලා සිටී. මෙම පරික්ෂණය කළ යුත්තේ විශේෂඥ වෛද්‍ය නිලධාරී හෝ කාර්යභාර වෛද්‍ය නිලධාරීගේ නිර්දේශයට අනුව පමණකි. සාම්පල ලබාගැනීමෙන් පසු අදාළ ආයතන විසින් වාර්තා නිකුත් කරන තෙක් රෝගීන්ට ආයතනය/නිවස තුළ හුදෙකලාවීමට උපදෙස් දියයුතු අතර ඒ බවට අදාළ රසායනාගාර හෝ රෝහල් බලධාරීන් විසින් තරයේ සුපරීක්ෂණය කිරීමට වගබලා ගත යුතුය. රෝගියකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකය, අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හා රෝගීයා දැනුම්වත් කිරීම රෝහල්/රසායනාගාර භාර නිලධාරීයාගේ වගකීමකි.

ඉහත වගකිවයුතු නිලධාරීන්ගේ නිර්දේශ අනුව, ආසාදිත රෝගීන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කළ කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල නේවාසික පහසුකම් ලබාදීමට අදාළ බලධාරීන් කටයුතු කළ යුතුය. පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම නිශ්චිත හා ආරක්ෂිත ස්ථානයක සිදු කළ යුතු අතර Walk in or drive through රෝගීන් සඳහා පරික්ෂණ කිරීමට අවසර නොමැති බව නව චක්‍ර ලේඛයේ දක්වා ඇත. අදාළ බලධාරීන් විසින් මෙම මාර්ගෝපදේශය පිළිනොපදින බව යම් හෙයකින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වාර්තා වුවහොත් කොවිඩ්-19 පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම සඳහා ලබා දී ඇති අවසරය අවලංගු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කටයුතු කරනු ඇති අතර විදේශ සංචාර අරමුණ මත සිදුකරන පී.සී.ආර් පරික්ෂණ හා වැඩබිම් ආශ්‍රිතව දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කර ඇති කොවිඩ්-19 පී.සී.ආර් සහ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සඳහා මෙම මාර්ගෝපදේශ අදාළ නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නව චක්‍ර ලේඛයේ දක්වා ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශ වැඩිදුරටත් දන්වා සිටින්නේ වැඩබිම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, කොවිඩ්-19 ආවේක්ෂණ සහ රසායනාගාර පරික්ෂණ සඳහා දැනට නිකුත් කර ඇති ‘Screenig and laboratory testing for covid-19 for employees in workplaces‘ මාර්ගෝපදේශයට අනුකූලවද කටයුතු කළයුතු බවයි.

Related posts

Leave a Comment