පුෂ්පකුමාර හොකී සභාපති සටනට

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්. කමල් පුෂ්පකුමාර මහතා හොකී ක්‍රීඩාව ඉහළට ඔසවා තැබීමේ සහ ආසියාවේ හොඳම කණ්ඩායම බවට පත් කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා හොකී සම්මේලන නිලවරණයේදී සභාපති ධුරයට තරග වදී. මේ මස 31 වැනිදා සූම් තාක්ෂණය අනුසාරයෙන් පැවැත්වීමට නියමිත හොකී සම්මේලන නිලවරණයේදී හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා සමඟ සභාපතිධුරයට තරග වදින කමල් පුෂ්පකුමාර මහතා පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් හොකී සහ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාතික හා අන්තර්ජාතික මට්ටමෙන් කැපී පෙනෙන දස්කම් පෑ ක්‍රීඩකයෙකි. වසර 2019 දී එංගලන්තයේ පැවැති පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ශූරතාව දිනා ගත්තේ ඔහුගේ නායකත්වය යටතේය.

‘කඩා වැටුණු හොකී ක්‍රීඩාව ආපහු ගොඩ නැඟීමට සභාපති ධුරය සඳහා ඉදිරිපත් වෙන්න කියලා හොකී ක්‍රීඩා සංගම් රැසක් මගෙන් ඉල්ලා සිටියා. ඒ නිසයි නිලවරණයට ඉදිරිපත් වෙන්න මම තීරණය කළේ.‘ සභාපතිධුර අපේක්ෂක කමල් පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේය. ‘අන්තර්ජාතික මට්ටමේ හොකී ක්‍රීඩා පිටි අපට තියෙන්නේ 2ක් විතරයි. මාතලේ සහ කොළඹ පිහිටි ඒ හොකී ක්‍රීඩාංගණ දෙකම අබලන් තත්ත්වයේ තියෙන්නේ. මේවා කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන්න ඕනෑ. මේ ක්‍රීඩාංගණ දෙකම හොකී සම්මේලනයට අයිති නෑ. හොකී සම්මේලනයට කියලා වෙනම ක්‍රීඩා පිටියක් තියා පරිපාලන ගොඩනැගිල්ලක් වත් නෑ. මේ වගේ අභියෝග ගොඩාක් තියෙනවා.‘ ඔහු කීවේය.

මෙරට පැවැත්වෙන 11 සාමාජික හොකී තරගාවලි ප්‍රමාණවත් නොවන බව ද, පාසල් මට්ටමින් ක්‍රීඩාව දියුණු කිරීමට විශාල වැඩකොටසක් කළ යුතුව ඇතැයි ද සභාපතිධුර අපේක්ෂක පුෂ්පකුමාර මහතා සඳහන් කළේය. ‘අපි හොකී ක්‍රීඩාවෙන් 60 දශකයේදී ආසියාවේ 4 වැනි ස්ථානයේ හිටපු රටක්. දැන් 11 වැනි තැනට වැටිලා ඉන්නේ. ජාතික සංචිත අලුතින්ම හදන්න ඕනා. සංවර්ධන සංචිතයක් වෙනම හදන්න තියෙනවා. පාසල් මට්ටමෙන් ක්‍රීඩාව ව්‍යාප්ත කරන්න අලුත් වැඩපිළිවෙළක් යොදන්න ඕනෑ.‘ ඔහු පැවැසීය.

ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් හිටපු ක්‍රීඩකයන්ගේ දායකත්වය ලබාගැනීමට කටයුතු කළද, හොකී ක්‍රීඩාවේදී එවැනි ක්‍රමවේදයන් සිදු නොවන බව කී පුෂ්පකුමාර මහතා තමා සභාපතිධුරයට පත් වීමෙන් පසු ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයන් 7 දෙනකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් ස්ථාපිත කරන බව සඳහන් කළේය.

‘ඒ වගේම මූල්‍ය කටයුතුවල විනිවිදභාවය පෙනෙන අයුරින් ක්‍රීඩා සංගම් කිහිපයක නියෝජිතයන්ගෙන් සැදුම්ලත් මූල්‍ය කමිටුවකුත් පත් කරන්න මගේ අදහසක් තියෙනවා. විදෙස් රටවලින් ලැබෙන මුදල් ක්‍රමානුකූලව හොකී ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා යොදවන්න ඕනෑ. ආසියානු හොකී සංගමයෙන් ලැබෙන ක්‍රීඩා භාණ්ඩ සම සමව බෙදලා දෙන්න ඕනා.‘ ඔහු කියා සිටියේය.

ක්‍රීඩකයන් සංචිතගත කොට එය පවත්වාගෙන යෑම පහසු කාර්යයක් නොවන බවත්, ක්‍රීඩකයන්ට නේවාසිකාගාර ඉදි කළ යුතුව ඇති බවත් ඔහු සඳහන් කළේය.

‘හොකී පුහුණුකරුවන් සහ තරග තීරකවරුන් ඒවා සිදු කරන්නේ වෘත්තියක් හැටියටයි. මේ කොවිඩ් වසංගත කාලයේ ඔවුන් දැඩි ආර්ථික දුෂ්කරතාවලට ගොදුරු වී සිටිනවා. ඔවුන් රැකබලා ගත යුතුව තිබෙනවා. මේ සියලු කරුණු ක්‍රීඩා සංවර්ධන වැඩසටහන්වලදි ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සමඟ මම සාකච්ඡා කළා. හොකී ක්‍රීඩාව වෙනුවෙන් ඔහුගේ විශාල උනන්දුවක් හා අවධානයක් තිබෙනවා. ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් එතුමාගේ දායකත්වය නොඅඩුව ලැබෙනවා.‘ කමල් පුෂ්පකුමාර මහතා කියා සිටියේය.

Related posts

Leave a Comment