පොලිසියෙන් පහර දී මූලික අයිතීන් කැඩුවැයි 175,000ක් වන්දි

විදේශීය සමාගමක මෙරට කළමනාකරුවකු බහු විවාහ චෝදනා මත ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පහර දීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් රුපියල් එක්ලක්ෂ පනස්දහසක වන්දි මුදලක් හා ඊට අමතරව නඩු ගාස්තු ලෙස රුපියල් විසිපන්දහසක් පහර කෑ පුද්ගලයා වෙත ගෙවන ලෙස ඊට වගකිව යුතු ගල්කිස්ස පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයකු⁣ට නියෝගය කර ඇත. තවද රුපියල් 25,000ක මුදලක් වන්දි වශ⁣යෙන් පහරකෑමට ලක්වූ කළමනාකරු වෙත ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියම කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ මෙම පහරදීමට ලක්වූ කළමනාකාරවරයා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගෙන එහි තීන්දුව ඉකුත් 21වැනිදා ප්‍රකාශයට පත් කරමිනි.

ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් යුතු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත. රත්මලාන පදිංචි ජනිදු චාරක දහම් සෙනවිරත්න මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගල්කිස්ස පොලිසියේ උප පොලිස් පරීක්ෂක නෙලුම්දෙණිය, ගල්කිස්ස පොලිස් ස්ථානාධිපති ඇතුළු පස් දෙනකු නම් කරනු ලැබ තිබිණි. අනෙකුත් විනිසුරුතුමන්ලාගේ එකඟත්වයෙන් විනිසුරු මහින්ද සමයවර්ධන මහතා දුන් නඩු තීන්දුවේ මෙසේද සඳහන් වේ. ‘පෙත්සම්කරු නවසීලන්ත සමාගමක මෙරට කළමනාකරුවකු වශයෙන් කටයුතු කරයි. ඔහුගේ පෙර විවාහයේ බිරිය බහු විවාහ චෝදනා සම්බන්ධයෙන් පෙත්සම්කරුට එරෙහිව ගල්කිස්ස පොලීසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව 2015/9/12 දින පෙත්සම්කරු රාජකාරි නිමවා නිවසට පැමිණි විට ගල්කිස්ස පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ ඔහුව අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලීසියට රැගෙන ගොස් පොලිස් කූඩුවේ රැඳවීය. එදින රාත්‍රී වැඩමුරයට පැමිණි පළමු වගඋත්තරකරු පෙත්සම්කරුට පහරදී ඇත. මෙම පහරදීම හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින්, ඊට වන්දි ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබිණි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 5 වැනි වගන්තිය අනුව අමානුෂික ලෙස සැලකීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමකි. මේ පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද තහවුරු කර ඇත. ඉදිරිපත් වූ කරුණු විමර්ශනයේදී පළමු වගඋත්තරකාර උප පොලිස් පරීක්ෂකවරයා විසින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩ ක⁣ර ඇති බව අධිකරණයේ මතයයි.

ඒ අනුව පළමු වගඋත්තරකාර උප පොලිස් පරීක්ෂකවරයා විසින් රුපියල් 1,50,000ක වන්දි මුදලක්ද, රුපියල් 25,000ක නඩු ගාස්තු පෙත්සම්කරුට ගෙවන ලෙසත්, ඊට අමතරව තවත් රුපියල් 25,000ක මුදලක් වන්දි ලෙස පෙත්සම්කරුට ගෙවන ලෙස රජයට නියෝග කරන බවද අධිකරණ තීන්දුවේ සඳහන් වේ. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා පෙනී සිටියේය. පළමු වගඋත්තරකරු වෙනුවෙන් නීතිඥ සුදත් ජයසුන්දර මහතා ද, නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ගංගා වාකිෂ්ට ආරච්චි මහත්මිය ද පෙනී සිටියහ.

Related posts

Leave a Comment