රට වසා දැමුවොත් නිෂ්පාදිතය 30% කින් පහළ යා හැකියි – අජිත් නිවාඩ් කබ්රාල්

  • රටට, ජනතාවට එල්ල වන පීඩා අවම කිරීමට පියවර ගන්නවා
  • ජනතාව හැකි තරම් ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතුයි

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විශ්වාසය පළ කරමින් කියා සිටින්නේ ඉදිරි මාස තුන ඇතුළත ජාතික එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් පසු කොවිඩ් 19 වසංගතයෙන් වන පීඩා අවම කර ගැනීමට හැකි වනු ඇතැයි යනුවෙනි. කොවිඩ් වසංගතයෙන් රටේ ජනතාවට සිදු වන පීඩා අවම කර ගැනීම, රටේ ආර්ථිකය කඩා නොවැටී පවත්වා ගැනීම සහ පොදු මහත් රටවැසියන්ට සහන සැලසීම, මුළු රටම වසා දැමීමක් සිදු කළ හොත් ඉන් ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම යනාදිය පිළිබඳව ඒ මහතා සමඟ කළ සාකච්ඡාවකි.

  • කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් මේ වන විට රටේ ආර්ථිකය, ජනතාවගේ ජීවනෝපාය, සාමාන්‍ය ජනජීවිතය යනාදියට අහිතකර බලපෑම් එල්ල වී තිබෙනවා. ඒත් මේ පීඩා අවම කර ගැනීම, වසංගතය පැතිර යෑම පාලනය කිරීම සම්බන්ධයෙන් රජයේ ක්‍රියාදාමය සිදු වන්නේ කෙසේදැයි පැහැදිලි කර ගැනීමක් සුදුසු බවයි අපගේ හැඟීම. ඔබට රජයේ ක්‍රියාදාමය පැහැදිලි කළ හැකි ද?

ඔව්. මීට වසරකට, වසර එකහමාරකට පෙර තමයි මුලින්ම කොවිඩ් 19 ගෝලීය වසංගතයේ පැතිර යෑමෙන් අපට පීඩා එල්ල වීමට පටන් ගත්තේ. එදා සිට අද දක්වාම, හෙටත් මේ වසංතයෙන් රටට, ජනතාවට එල්ල වන පීඩා අවම කිරීමට වගකිව යුතු රජයක් ලෙස අප පියවර ගනිමින් ඉන්නවා. මෙහිදී විශේෂයෙන් සෞඛ්‍ය ආරක්ෂිත කොවිඩ් පාලන ක්‍රම වේද අනුගමනය කිරීම, ඒවා පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීම, සෞඛ්‍ය හා ජනතාවගේ ජීවනෝපාය සවිබල ගැන්වීමට රජයක් ලෙස අපි විශාල වැඩ කොටසක් ඉටු කරමින් ඉන්නේ. මෙහිදී විශේෂයෙන් පැහැදිලි කිරීමක් කළ යුතුයි. මේ සියලු දේ අප සිදු කරන්නේ ඒ ඒ ක්ෂේත්‍ර විශේෂඥ දැනුම, අවබෝධය තිබෙන අය ලබා දෙන මඟ පෙන්වීම්, උපදෙස් අනුවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති, හිටපු ඇමැති බැසිල් රෝහණ රාජපක්ෂ මහතා අප සියලු දෙනාටම නිරන්තරයෙන් උපදෙස් දෙන්නේ හැකි තරම් ජනතාවගේ පාර්ශ්වයෙන් බලා ප්‍රශ්නවලට විසඳුම් දෙන ලෙසයි.

  • කොවිඩ් 19 වසංගතයෙන් මිදීමට රජයක් ලෙස අති විශාල මුදලක් වැය කර කටයුතු කර තිබෙනවා. ඒ ගැන යම් පැහැදිලි කිරීමක් කළ හැකි ද?

මේ කොවිඩ් වසංතයේ බලපෑම ආ මුල් දිනයේ පටන් අද දක්වා රජය විශාල මුදලක් මේ ව්‍යසනයෙන් රටත්, ජනතාවත් බේරා ගැනීමට වියදම් කර තිබෙනවා. මේ වියදම් සියල්ල කළේ ජනතාවගේ ජීවිත බේරා ගන්න. කඩා වැටුණු ජන ජීවිතය නැවත ගොඩනඟා ගන්න. නැවැත නැඟී සිටීමට. සහන ලබා දෙන්න. වසර 2020 මේ වැඩවලට රජයේ වියදම් ලෙස රුපියල් කෝටි 9610ක්, මේ වසරේ (2021) ජනවාරි සිට මේ දක්වා රුපියල් කෝටි 4190 වැය කර තිබෙනවා. මීට අමතරව තවත් විශාල වැඩසටහන් ප්‍රමාණයක් සිදු කරමින් රජය ජාතික එන්නත්කරණය වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා.

  • කොවිඩ් 19 ගෝලීය වසංගතයේ ආර්ථික බලපෑම අපට තදින් දැනී තිබෙනවා. ඒ ගැන මෙවර ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ පවා සඳහන් කර තිබුණා. ඒ පිළිබඳව ඔබටත් යමක් කිව හැකි ද?

ඔව්! ඇත්ත වශයෙන්ම කිවහොත් ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබී වසර 73ක් ගත වෙනවා. මේ ගත වූ අවුරුදු 73ක ඉතිහාසයේ අපට කළමනාකරණය කර ගැනීමට අසීරුම වූ වසර 2020 යි. රටේ මුළු ආර්ථිකයේම වටිනාකම වසර 2019ට වඩා වසර 2020 දී අඩු වී තිබෙනවා. වසර 2019දී එක්සත් ජනපද ඩොලර් බිලියන 84.0ක් වූ සමස්ථ ආර්ථිකයේ වටිනාකම වසර 2020 දී ඩොලර් බිලියන 80.7ක් දක්වා පහළ යෑමට වසංගතය හේතු වුණා. මේ අඩු වීම අහඹු ලෙස ඇති වූවාක් නොවෙයි. එය එක් අංශයකින් සිදු වූ අඩුවීමක් ද නොවෙයි. මෙය සෑම අංශයකින්ම සිදු වූ අඩු වීමක්. ඒ කියන්නේ සියලු අංශවලට, සියලුදෙනාට අත්විඳීමට සිදු වූ බාධා කිරීමක්, බිඳ වැටීමක් බව කිව යුතුයි. නමුත්, අපි මේ අභියෝගය ජය ගත යුතුයි. ඒ සඳහා කොවිඩ් පරදා පෙරට ඒමට ක්‍රියා කළ යුතුයි.

  • කොවිඩ් පළමු රැල්ල, දෙවැනි රැල්ල වාගේ නොවෙයි. මේ අප අත්විඳින්නේ තුන්වැනි රැල්ලේ අභියෝගයටයි. එය පෙරටත් වඩා භයංකර, බියකරු එකක් බවට පත් වීී තිබෙනවා නේ ද?

එම අභියෝගය ඉතා අසීරු එකක් බව අපට විතරක් නොවෙයි, අපේ අසල්වැසි ඉන්දියාව මුහුණ දෙන තත්ත්වය පිළිබඳව සලකා බැලීමේදී පවා පැහැදිලි වන්නක්. අපිත්, මුළු ලෝකයත් මේ අභියෝගයෙන් දැඩිව පීඩා විඳිමින් ඉන්නේ. නමුත්; අපි ඉන් ගැලැවීමට ගන්නා උත්සාහයන් අනුව තමයි අප සැමගේ වෙනස්කම් මතුවන්නේ. අපි ඒ අතින් අන් අයට වඩා යහපත් තත්ත්වයකයි සිටින්නේ කියා කෙනෙකුට සතුටු විය හැකි යැයි කියා මා සිතන්නේ නැහැ. අප මේ අභියෝගය මුළුමනින්ම ජය ගන්නා තෙක්, එක් අරමුණකින් එක් ඉලක්කයක් ඇතිව වැඩ කළ යුතුයි. එයයි මේ මොහොතේ ඉතාම වැදගත් කටයුත්ත වන්නේ.

  • මෙය ජය ගැනීමට විවිධ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේද, සංචරණ සීමා පනවමින් අපි කටයුතු කරනවා. සමහරු රට සතියකට, දෙකකට වසා දැමිය යුතුයි කියනවා. මේ ගැන ඔබේ අදහස කුමක් ද?

බොහෝ දෙනෙකුට කියන්න පුළුවන් රට වසා තබන්න කියා. ඇතැමකුට කියන්න පුළුවන් එසේ නොකරන්න කියා. ඒත්; අපි සියලු දෙනාගේම අදහස්, යෝජනා සැලකිල්ලට ගනිමින් වඩාත් නිවැරැදිව, වඩාත් උචිතම දෙයයි සිදු කළ යුත්තේ,අපේ රටේ වැඩ කරන ජනතාව ලක්ෂ 85ක් පමණ සිටිනවා. මේ අයගෙන් ලක්ෂ 25ක් විතර සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය දරන, එම අරමුදල් ප්‍රතිලාභ ලබන අයයි. තවත් ලක්ෂ 14, 15ක් රාජ්‍ය සේවයේ යෙදෙන අයයි. මේ පිරිසට අමතරව ලක්ෂ 45ක් හෝ ඊට වැඩි පිරිසක් එදිනෙදා, සතිපතා යම් යම් වැඩ කොටසක් සිදු කර ජීවන ගමන ගෙනියන අයයි. මේ අයගේ ජන ජිවිතයේ පැවැත්ම ආරක්ෂා කරන්නේ කොහොම ද? බිඳ නොවැටී රැක දෙන්නේ කොහොම ද? කියන එකයි අපි නිතරම කල්පනා කරන්නේ. රට වසා දැම්මොත් මේ පිරිසට විශාල බලපෑමක් සිදු වෙනවා. ඒ නිසා අපි යම් තීරණයක් ගත්තොත් ඉන් ඒ අයට එල්ල වන බලපෑම ගැනත් සිතිය යුතුයි.

  • රටේ සංචරණ සීමා පැනවීම්, වසා තැබීම් නිසා, ආර්ථිකයට වන බලපෑම කෙබඳු ද?

සාමාන්‍යයෙන් අපේ රටේ අවුරුද්දක දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකම රුපියල් බිලියන 15000ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දිනක ජාතික නිෂ්පාදිතයේ දායකත්වය රුපියල් බිලියන 40ක්, 41 ක් වෙනවා. මෙය මාසයකට රුපියල් බිලියන 1200ක් පමණ වෙනවා. මේ ජාතික නිෂ්පාදිතය රට මාසයකට වැසුවොත් ඒ ප්‍රමාණයෙන් අඩු වෙනවා. සති 02කට, සතියකට රට වසා දැමුවොත් ආර්ථිකයේ නිෂ්පාදිතය බලාපොරොත්තු වූවාට වඩා සියයට 30කින් හෝ ඊටත් වඩා පහළ යා හැකියි. මේ නිසා බිඳ වැටෙන්නේ ඉතාම අමාරුවෙන් තමන්ගේ ජීවිතය ගෙන යන අඩු ආදායම්ලාභීන්, තිරසර ආදායම් මාර්ගයක් නොමැති පිරිස්. ඒ නිසා අපි යම් තීරණයක් ගැනීමේදී ඒ පිරිස් ගැනත් සිතා බැලිය යුතුයි. වඩාත් අවධාරණය කරන්නේ ඒ නිසායි.

  • මෙවන් අඩු ආදායම්ලාභීන්ට පීඩාවක් නොවන ලෙස, රට වසා තැබීමක් සිදු නොකර මේ කොවිඩ් මාරයා පරාජයට පත් කිරීමට අපිට හැකි ද?

එය තමයි අපි මේ මොහොතේ මුහුණ දෙන දරුණුතම අභියෝගය වී තිබෙන්නේ. එය ජය ගැනීමට අපිට හැකියාව තිබෙනවා. අපි මෙහිදී රජයක් ලෙස කටයුතු කරනවා. රජයට පමණක් මෙය ඉතා සාර්ථකව ජය ගන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. මහජනතාවත් ස්වයංව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුගතවෙලා. ඒඅනුව කටයුතු කරමින් මේ අභියෝගය ජය ගන්න පියවර ගත යුතුයි.

  • මහජනතාව නිසි ලෙසට කටයුතු කරන තත්ත්වයක් මතු වී තිබෙනවා. ඒ සඳහා ඔවුන්ට රජයෙන් යම් යම් සහන දීම් සිදු කළ හැකියි නේ ද?

අනිවාර්යෙන්ම ඔව්! අපි රජයක් ලෙස රට මුළුමනින්ම වසා තබන්නේ නැතිව, ආර්ථික ක්‍රියාකාරකම් සිදු කිරීමට ඉඩ දෙන අතර, අවශ්‍යම නම් ඉතාම අඟහිගකම් තිබෙන ජනතාවට, පිරිසට පුද්ගලයන්ට සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන්න පහසුකම් සපයා දීමක් කරනවා නම් වඩාත් හොඳයි. අපි අඩුම තරමින් අවශ්‍යම ජනතාවට මුඛ ආවරණ, අත් සෝදන සබන් හා අනෙකුත් ද්‍රව්‍ය සතියකට, දෙකකට ප්‍රමාණවත් වන ප්‍රමාණය නොමිලේ ලබාදීමක් කළ හැකියි. එසේ අසීරුකම් තිබෙන අයට රජය නොමිලේ හෝ මේ පහසුකම් දී, රට නොවසා තබා ගැනීමට, රටේ ආර්ථික ක්‍රියාකාරකම් සිදු කිරීමට ඉඩකඩ සලසා ගතහොත් වඩාත් හොඳ බවයි අපගේ හැඟීම. නමුත්, පොදු මහජනතාව කිසිවිටෙකත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලින් බැහැර වීමක් නම් සිදු කරන්නම සුදුසු නැහැ. ජනතාව හැකි තරම් ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මේ උවදුර පැරදවීමට ක්‍රියාකළ යුතුමයි.

Related posts

Leave a Comment