පශ්චාත් ගෝලීය කොවිඩ් තත්ත්වය තුළ ආසියාවේ භූමිකාව

ගෝලීය වසංගතයක් බවට පත් වූ කොවිඩ් 19 වසංගතයේ බලපෑම හේතුවෙන්, වේගයෙන් වර්ධනය වෙමින් තිබූ ආසියානු රටවල ආර්ථිකය අනපේක්ෂිත පසුබෑමකට ලක් විය. මේ වන විට වසංගතය මිලියන ගණනකගේ ජීවිත ගොදුරු කර ගෙන ඇති අතර තවත් මිලියන සිය ගණනක් කොරෝනා වයිරස ආසාදනය හේතුවෙන් රෝගි විය. ලොව පුරා රටවල ආර්ථිකය ද රෝගී කිරීමට එය සමත් විය. ව්‍යාප්ත වෙමින් ඇති වසංගත තත්ත්වය සහ එහි බලපෑම් හමුවේ මින් පෙර නොවූ විරූ තරමට ආසියානු රටවල් අතර සම්බන්ධතා ශක්තිමත්ව පවත්වා ගැනීම මෙන්ම ලෝක ජාතීන් අතර සබඳතා වර්ධනය කර ගැනීම ද අවශ්‍ය වී තිබේ.

පසුගියදා පැවැති ‘ආසියාවේ අනාගතය’ (Future of Asia) අන්තර්ජාතික සමුළුවේ ප්‍රධාන දේශනය අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පවත්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කර තිබිණි. මෙවර එම සමුළුව පැවැත්වුණේ 26 වැනි වතාවටය. එය සංවිධාන කරනු ලබන්නේ ජපානයේ දැවැන්ත මාධ්‍ය සමාගමක් වන Nikkei මඟිනි. සමුළුව අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ, වසංගතය දේශ සීමා නොතකන බවය. වයිරසය ලොව කොතැනක ව්‍යාප්ත වුව ද එය ආක්‍රමණකාරී ලෙස ක්‍රියාත්මක වෙමින් විනාශකාරී බලපෑම් ඇති කිරීමට සමත්ය. එහි වේගවත් ව්‍යාප්තිය එම බලපෑම් වඩාත් බරපතළ වීමට බලපා තිබේ. වසංගතය පාලනය කිරීමේදී එන්නත්කරණ වැඩසටහන්වල ප්‍රගතිය ඉතා වැදගත්ය. එන්නත් නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම මෙන්ම ලොව පුරා එන්නත් සඳහා ඇති ඉල්ලුම කඩිනමින් සපුරාලීමද අවශ්‍ය වේ. වසංගත ව්‍යාප්තියේ නිමාවක් දැකීමට නම් එන්නත්කරණ වැඩසටහන්වල සාර්ථකත්වය අත්‍යවශ්‍යය.

  • සහයෝගිතාව

වසංගතය හමුවේ එම පොදු සතුරා සමඟ සටන් කිරීමේදී අන්තර්ජාතික වශයෙන් සහයෝගිතාවකින් ක්‍රියා කරනු දැකීම සුභදායි තත්ත්වයකි. දැනුම හා අත්දැකීම් බෙදා ගනිමින් ඇති අතර එකිනෙකා දිරිගැන්වෙමින් පවතී.

තවත් සතුටුදායක වර්ධනයක් වන්නේ නොයෙක් ක්ෂේත්‍රවල නව වර්ධනයක් දක්නට තිබීම බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබිණි. නිදසුනක් ලෙස වෛද්‍ය හා ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඇති වූ වර්ධනයක් දැක්විය හැකිය. නව එන්නත් හඳුන්වා දීම වේගවත් ක්‍රියාවලියක් වූ අතර නව ප්‍රතිකාර ක්‍රම ද හඳුන්වා දෙන ලදී. එසේවීම මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය සම්බන්ධයෙන් හිතකරය. එවැනි වර්ධනයන් පරිණාමයන් විශේෂයෙන් ආසියාවේ අපට වැදගත්ය. බො‍හෝ ආසියානු රටවල සංවර්ධනය කරා යාමට ඇති පිපාසය මෑත දශක ගණනාවක් තිස්සේ මිලියන සියගණනක් වන ජනයා දරිද්‍රතා­‍ෙවන් මුදා ගැනීමට තරම් හේතු විය. ආසියානු රටවල බාල හා තරුණ පරම්පරා වඩා හොඳ අධ්‍යාපන මට්ටමක් කරා ළඟා වී ඇති අතර පෙර නොවූ විරූ තරමින් තාක්ෂණික දැනුමෙන්ද යුතුය. අනාගතයට මනා විශ්වාසයකින් යුතුව මුහුණ දීමට එය උපකාරී වන බව ද ජනාධිපති ගෝඨා‍භය රාජපක්ෂ මහතා පෙන්වා දී තිබිණි.

කෙසේ වුවද, ඔහු සෙසු කලාපීය නායකයන්ගෙන්ද ඉල්ලා සිටියේ, ආසියානු රටවල නායකයන් ලෙස අප එවැනි ප්‍රවණතා හුදෙක් දේශීය වශයෙන් දිරි ගැන්වීමට සීමා නොවෙමින් කලාපීය වශයෙන්ද ව්‍යාප්ත කළ යුතු බවයි. එහිදී ද ආසියානු රටවල සහයෝගිතාවය වැදගත්ය. වෙනස්කම්වලට විසැඳුම් සපයා ගැනීමට ද හැකි වන්නේ එවිටය. කලාපීය රටවලට තම ආර්ථිකය වඩාත් ප්‍රගතිශීලී හා තිරසර ලෙස ඉහළට ගැනීමට හැකි වන අයුරින් කලාපීය ව්‍යුහාත්මක සැලැස්මක් නිර්මාණය කර ගැනීම ප්‍රයෝජනවත් වේ.

සාමූහික වශයෙන් නව ආර්ථික අභියෝගයන්ට මුහුණ දීමේදී ASEAN, BIMSTEC, SAARC වැනි කලාපීය සංවිධාන හා සමූහයන් ඊට ගැළපෙන අයුරින් ප්‍රා‍යෝගික මෙන්ම ඒකාබද්ධ වැඩ සැලසුම් ඉදිරිපත් කළ යුතුය. අන්තර් කලාපීය වෙළෙඳාම දිරි ගැන්වීම මෙන්ම ආසියාකරය සහ සෙසු ලෝකය අතර වෙළෙඳාම දිරිගැන්වීම මෙහිදී තීරණාත්මක වනු ඇත. තවමත් සංවර්ධනය වෙමින් පවත්නා රටක් වශයෙන් පවත්නේ වුවද බොහෝ සමාජ දර්ශකවල ශ්‍රී ලංකාව සිටින්නේ ඉහළිනි. අප සතුව ශක්තිමත් පොදු සෞඛ්‍ය සේවාවක් මෙන්ම තෘතීය මට්ටම දක්වාම විහිදුණු නිදහස් අධ්‍යාපන ක්‍රමයක්ද තිබේ. අප සතුව මනා අධ්‍යාපනයක් සහිත, ඉහළ නිපුණත්වයකින් යුතු මෙන්ම කැපවීමෙන් වැඩ කළ හැකි ශ්‍රම බළකායක් ද සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව එහි පිහිටීම අනුව ලොව ප්‍රධාන කේන්ද්‍රයන් සමඟ ගුවනින් පැය 5කට අඩු කාලයක් තුළ සම්බන්ධ වීමට හැකි දකුණු ආසියානු කලාපීය රාජ්‍යයක් බව ද සඳහන් කර තිබිණි. එමෙන්ම අපේ රට කලාපයේ ඇති ඉතා දැකුම්කලු රාජ්‍යයකි. ජීවිතවල ගුණාත්මක බව සලකන විට ද එය දකුණු ආසියාවේ ඇති ඉතාමත් හොඳ රටකි.

ආර්ථික වර්ධනය අත්කර ගැනීම සහ ආයෝජන පිළිබඳ අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව දරා ඇති ප්‍රයත්නයන් පිළිබඳ සඳහන් කිරීමට ද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කරගෙන තිබිණි. වාණිජ අගනගරය මෙන්ම කේන්ද්‍රස්ථානය වන කොළඹ නගරයට හෙක්ටයාර් 269ක් අලුතෙන් එක් කරමින් වරාය නගරය ඉදිවීමත් සමඟ එය තවත් පුළුල් වේ. ‘වරාය නගරය’ (Port city) යනු දකුණු ආසියාවේ දොරටුවකි. අන්තර්ජාතික මූල්‍ය කේන්ද්‍රයක් ලෙස මෙන්ම, සමුද්‍රීය දිස්ත්‍රික්කයක් ලෙසද එය නේවාසික හා වාණිජ පහසුකම් නිර්මාණය කරනු ඇත. එය ලෝක මට්ටමේ ඉහළ යටිතල පහසුකම් සහිත නිවර්තන, වෙරළාසන්න පාරාදීසයකි.

වරාය නගරයේ පාලනය සඳහා වන කොමිසම පිළිබඳ සඳහන් කරමින්, ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ එම ව්‍යුහය ආයෝජකයන් සඳහා ආකර්ෂණීය වනු ඇති බවය. එහි ව්‍යාපාර කිරීමේදී එය ඔවුන්ට විශාල පහසුවක් වනු ඇත. පුළුල් ආර්ථිකමය බලපෑම් අත්කරගැනීම සම්බන්ධයෙන් එම විශේෂ තත්ත්වය දිරිගැන්වීම් සිදු කරනු ඇත. ජනාධිපතිවරයා, මෙහිදී විශ්වාසය පළ කළේ, කොළඹ ලොව පුරා සිටින ආයෝජකයන්ට සිය ආයෝජන සඳහා ලැබී ඇති ප්‍රතිලාභයන් ලෙස සලකා එහි ආයෝජනය කිරීමට යොමු වනු ඇති බවය. ලොව වඩාත් වේගයෙන් පෙරට ඇදෙමින් ඇති කලාපයක හදවත බඳු, වරාය නගරයේ සුවිශේෂී භූගෝලීය හා උපායමාර්ගිකව වැදගත් පිහිටීම මෙහිදී විශේෂ සාධකයකි. මෙම මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස ලෝක ජාතීන්ට ආරාධනා කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී අමතක නොකළේය. අනාගතයේදී මෙය කලාපයේ වැදගත්ම සේවා කේන්ද්‍රයක් වනු ඇති බවද අවධාරණය කෙරිණි.

ආර්ථික සහයෝගිතාව සහ ආයෝජන සම්බන්ධයෙන් නව ප්‍රවේශ මාවත් හා අවකාශයන් විමසීමේදී ශ්‍රී ලංකාවට ‘ආසියාවේ අනාගතය’ වැනි ඉහළ මට්ටමේ අන්තර්ජාතික සමුළුවක් වේදිකාවක් කර ගැනීමට හැකිවීම වැදගත්ය. ආයෝජන සහයෝගීතාව, විද්‍යාව හා තාක්ෂණය මෙන්ම නවෝත්පාදන ක්ෂේත්‍රද මෙහිදී අදාළ වේ. සිය ආයෝජන සඳහා ශ්‍රී ලංකාව හොඳ ගමනාන්තයක් ලෙස පෙන්වා දෙමින් තම රටවල ආයෝජන මෙහි යොමු කිරීමේදී ආසියානු රටවල නායකයන්ගේ සහයෝගය ද ජනාධිපතිවරයා මෙහිදී අපේක්ෂා කර තිබිණි. හ්‍රී ලංකාව වඩාත් උනන්දු වනු ඇත්තේ අපනයනාභිමුඛ කර්මාන්ත සම්බන්ධයෙන් ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා බව ජනාධිපතිවරයා කියා සිටියේ එය ආර්ථිකයට වඩා හිතකර වනු ඇති බව දක්වමිනි.

  • ගොවිතැන

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය ගැන සඳහන් කරමින්, ගොවිතැන සඳහා නවීන තාක්ෂණය භාවිත කිරීම, කාබනික වගාවන් මඟින් අස්වනු ලබා ගැනීම වැනි කාරණා ඔස්සේ ආයෝජන දිරිගැන්වීමට සිය රජය උනන්දුවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. එහෙත් අපේ නිෂ්පාදනවල වටිනාකම ඉහළයාම මෙන්ම එම අපනයන ආදායම ඉහළ යෑම ද සිදු වේ. තාක්ෂණය මත පදනම් වූ කර්මාන්ත කෙරෙහි ආයෝජන දිරිගැන්වීම ගැන ද ශ්‍රී ලංකාව උනන්දුවක් දක්වයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වයත්, පළපුරුද්දත් හා නිපුණත්වයක් ඇති වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් අපට සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. ද්විතීයික හා තෘතියික මට්ටම්වලදී ඉදිරියට ගෙන යමින් ඇති අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ ඔස්සේ මෙම ක්ෂේත්‍රයට අනාගතයේදී තව තවත් තරුණ ප්‍රජාව යොමු වනු ඇති බව ද ජනාධිපතිවරයා පවසා ඇත.

ඉහළ තාක්ෂණයක් යොදා ගනිමින් කර්මාන්ත සිදු කිරීමේදී ඒ බො‍ෙහාමයකට අවශ්‍ය අමුද්‍රව්‍ය ද ශ්‍රී ලංකාව සතුය. එම සම්පත් ද උපයෝගී කර ගනිමින් අගය එකතු කළ හැකි කර්මාන්ත කිරීම සඳහා ආයෝජකයින්ට කැපී පෙනෙන සහායක් ලබා දීමට රජය සූදානමින් සිටී. ජනාධිපතිවරයා විශේෂයෙන් සඳහන් කළ තවත් කාරණයක් වන්නේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සඳහා යොමු වීමේදී ශ්‍රී ලංකාවට ඇති උනන්දුව සුළඟ, සූර්යබලය වැනි පුනර්ජනනීය ප්‍රභව ඔස්සේ බලශක්ති උත්පාදනයට අදාළව සිදු කළ හැකි ආයෝජන ද ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. කර්මාන්ත ක්ෂේත්‍රය වර්ධනය වීමේදී මෙන්ම පාරිසරික තිරසරභාවය පිළිබඳ සිය ප්‍රතිපත්තිවලට අදාළව මේ කාරණය ගැන උනන්දුවෙන් කටයුතු කරන බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබිණි.

කෙසේ වුවද සංචාරක ක්ෂේත්‍රය හැරුණු විට බොහෝමයක් ක්ෂේත්‍ර වසර 2020 අග වන විට 2019ට පෙර පැවැති මට්ටමට යළි ළඟා වී තිබිණි. සංචාරක කර්මාන්තය රටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන ක්ෂේත්‍රයකි. එය ආශ්‍රිතව ජීවනෝපාය සලස ගන්නා පිරිස මිලියන 3ක් පමණ වේ. 2021 වසර ආරම්භයේදී ජෛව ආරක්ෂක බුබුළ (Bio – Safety bubble) ක්‍රමවේදය යටතේවිදේශ සංචාරකයන් සඳහා රට යළි විවෘත කළ අතර එන්නත් ලබා ඇති සංචාරකයන් සඳහා නිරෝධායන කාලසීමාව අඩු කිරීමක් ද සිදු විය. ගෝලීය වශයෙන් වසංගත ව්‍යාප්තිය පවතින තුරු සංචාරක ව්‍යාපාරයට අයහපත් බලපෑමක් ඇති වේ.

  • ලොව පිළිගත් රටක්

ශ්‍රී ලංකාව සුහදශීලී මෙන්ම ආගන්තුක සත්කාරය. ප්‍රිය මිනිසුන් සහිත රටක් ලෙස ලොව පිළිගැනීමට ලක්ව ඇති රාජ්‍යයක් බව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කර තිබිණි. රටේ ස්වාභාවික සෞන්දර්යය, සංස්කෘතිය, ඉතිහාසය ආදී නොයෙක් සාධක ඔස්සේ විදේශීය සංචාරකයෝ දීර්ඝ කාලයක් තිස්සේ මෙහි සපැමිණේ. ගෝලීය වශයෙන් සංසරණය යළි යහපත් අතට හැරුණු විට, යළිත් මෙහි ඇදීමට හේතු වන බො‍හෝ ආකර්ෂණයන් තිබෙනු ඇත. පශ්චාත් කොවිඩ් තත්ත්වය යටතේ සංචාරක ව්‍යාපාරය ගලා යාමේදී ඍජු විදේශ ආයෝජන (FDI) අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ. එම ආයෝජන හෝටල්, සංචාරක නිකේතන, විනෝදාස්වාදන පහසුකම් ආදී වශයෙන් වැඩි වශයෙන් වියදම් කරන සංචාරකයන් ආකර්ෂණය කර ගත හැකි අයුරින් සිදු කළ හැකි වනු ඇත. සුන්දර, නිවර්තන දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සතු විභවය මෙන්ම ආගන්තුක සත්කාරය ඉහළ රටක් ලෙස ලබා ඇති පිළිගැනීම මෙහිදී විශේෂයි.

ඉහළ වෘත්තීය සුදුසුකම් සහ අත්දැකීම් සහිත ජාත්‍යන්තර මට්ටමේ වෛද්‍ය වෘත්තිකයන් සහ පිළිගත් පෞද්ගලික රෝහල් ද සමඟ ශ්‍රී ලංකාව වෛද්‍ය සංචාරක (Medical tourisum) ක්ෂේත්‍රයේ ආයෝජන සඳහාද මනා ලෙස සුදුසු රාජ්‍යයක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. සුවපැවැත්ම අරමුණු කොට ගත් සංචාරක ව්‍යාපෘති සඳහා වන ආයෝජන සඳහා ජනාධිපතිවරයා මෙහිදී ආරාධනා කළේ සාකල්‍යයෙන්ම ශ්‍රී ලංකාව සතු සෞඛ්‍ය රැකවරණ හා චිත්ත සමාධිය ඇති කරවන සුලු උරුමයන් ගැන ද සිහිපත් කරමිනි. ආසියාවේ අනාගතය පිළිබඳ මෙවැනි අන්තර්ජාිතක සමුළුවක් පැවැත්වීම ගැන Nikkei වෙත ද අගමැති යොෂිඩේ සුගා සහ ජපාන රජයට ද ජනාධිපතිවරයා සිය ස්තුතිය පිරිනැමීය. දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර දිගුකාලීන මෙන්ම ඵලදායී මිත්‍ර සබඳතා පවතින බව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කර තිබිණි. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් උනන්දුවෙන් කටයුතු කරන බව ජනාධිපතිවරයා කියා සිටියේ, වෙළෙඳ සහ ආයෝජන අවස්ථා දෙස අවධානය යොමු කරවමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දේශනය අවසන් කළේ මෙම සුභවාදි කතාව ඉදිරිපත් කරමිනි.

“‍ලෝකය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පැමිණි පසු, ඔබ සියලු දෙනාම ශ්‍රී ලංකාවේදී සාදරයෙන් පිළිගැනීමට අප සතුටින් බලා සිටිනවා. ඒ දිනය නුදුරු අනාගතයේදීම එළ‍ැඹේවා යන්න අපේ පැතුමයි.”

Related posts

Leave a Comment