කොරෝනා මතුවූ වූහාන් ගැන අලුත් කතාවක් ඇමරිකාවෙන් එළියට

චීනයේ වූහාන්හි පිහිටි වයිරසවේදය පිලිබඳ විද්‍යාගාරයේ සේවය කළ පර්යේෂකයන් තුන් දෙනෙකු 2019 වසරේ නොවැම්බර් මාසයේ, එනම් පළමු කොවිඩ් රෝගියා වාර්තා වීමට සති කිහිපයකට පෙර රෝහල්ගත කර ඇති බවත්, ඔවුන් ගෙන් කොවිඩ් රෝගයට තරමක් සමාන ලක්‍ෂණ පළ වී ඇති බවත් ඇමරිකාවේ Wall Street Journal පුවත්පත වාර්තා කර තිබේ.

එම පුවත්පත මේ බව වාර්තා කර ඇත්තේ මෙයට පෙර ප්‍රසිද්ධියට පත් නොවූ බුද්ධි වාර්තාවක් පදනම් කර ගනිමිනි.

කොවිඩ් වයිරසය වූහාන් නගරයේ පිහිටි විද්‍යාගාරයකින් කාන්දු වූවක් විය හැකි බවට ඇතැම් පාර්ශ්ව මතු කරන අදහසට මේ නිසා නැවතත් යම් තල්ලුවක් ලැබී ඇති ආකාරයක් දිස් වේ. කෙසේ නමුත් මෙම බුද්ධි වාර්තාව සම්බන්ධයෙන් ඇතැම් ඇමරිකානු නිලධාරීන් සියයට සියයක්ම විශ්වාසය පළ කර නොමැති අතර ඔවුන් පවසා ඇත්තේ මේ ගැන තවදුරටත් විමර්ශණ කළ යුතුව ඇති බවයි.

වූහාන් විද්‍යාගාරයේ පර්යේෂකයන් කිහිප දෙනෙකු මේ ආකාරයෙන් අසනීප වී ඇති බව විශ්වාස කිරීමට හේතු ඇති බැව් ට්‍රම්ප් පාලන කාලයේද එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව වරක් ප්‍රකාශ කර තිබිණි. නමුත් එසේ අසනීප වූ පර්යේෂකයන් සංඛ්‍යාව සම්බන්ධයෙන් එවර නිශ්චිතව සඳහන් නොවූ අතර රෝහල්ගත කිරීමක් සම්බන්ධයෙන්ද සඳහන් නොවූ බැව් පැවසේ.

මෙම අලුත් වාර්තාවෙන් පළවන තොරතුරු චීන බලධාරීන් විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබ තිබේ. ඔවුන් පවසන්නේ කොරෝනා වයිරසය චීන විද්‍යාගාරයකින් කාන්දු වූවක්ය යන මතය ප්‍රචලිත කිරීමට ඇමරිකාව තවදුරටත් උත්සාහ කරමින් සිටින බවයි.

වයිරසයේ ආරම්භය පිලිබඳ සෙවීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේ වූහාන් වෙත පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විමර්ශකයන් පිරිසක් මෙම වයිරසය විද්‍යාගාරයකින් කාන්දු වූවක් වීමට ඇත්තේ අවම ඉඩක් බව තීන්දු කළ බවද චීන විදේශ අමාත්‍යංශය සඳහන් කර තිබිණි.

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් සිදු කළ ඉහත විමර්ශණය සම්බන්ධයෙන් ඇමරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව, නෝර්වේ වැනි රටවල් සෑහීමකට පත්ව සිටියේ නැත. ඔවුන් පවසා තිබුණේ වඩාත් විනිවිදභාවයෙන් යුතු පුළුල් විමර්ශණයක් තවදුරටත් අවශ්‍යව ඇති බවයි.

ඉහත කී විමර්ශණ කණ්ඩායමට චීනය සමහර තොරතුරු ලබා නොදුන් බවටද එකල චෝදනා එල්ල විය. කෙසේ වෙතත්, ඉහත කී පුවත්පත් වාර්තාව පළ වී තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානය කරගෙන යනු ලබන විමර්ශණවල ඊළඟ අදියර ගැන සාකච්ඡා කිරීම සඳහා ඔවුන්ගේ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබියදීය.

Related posts

Leave a Comment