මුහුදේ පාවෙන ද්‍රව්‍ය අල්ලන්න එපා

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කියා සිටින්නේ කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගනිමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ විසිවන ද්‍රව්‍ය සහ භාණ්ඩ කොළඹ සහ මීගමුව අවට වෙරළ තීරයට ගොඩගැසීමට ඉඩ ඇති බවයි. එවැනි දේ ස්පර්ශ කිරීමෙන් හෝ විවෘත කිරීමට උත්සාහ කිරීමෙන් වළකින ලෙස එම ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර එසේම යම් දෙයක් නිරීක්ෂණය වුවහොත් ඒ බව ශ්‍රී ලංකා නාවික හමුදාවට හෝ පොලීසියට දැනුම් දෙන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුම්දෙයි. මෙම නෞකාවේ සිදුවූ පිපිරීමත් සමඟ කන්ටේනර් 8ක් පමණ මුහුදට වැටී ඇති අතර එම කන්ටේනර් තුළ පිපිරීමට ලක් විය හැකි ද්‍රව්‍ය අඩංගු බැවින් එය ඉතාමත්ම අනතුරුදායක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි.

ඊයේ (25) වරින්වර නෞකාවේ හටගත් ගින්න වර්ධනය වීමත් සමඟම නෞකාවේ සුළු පිපිරීම් හටගෙන ඇති අතර ඒ හේතුවෙන් බහාලුම් ඇතුළු වෙනත් අබලි ද්‍රව්‍ය මුහුදට එක්වී ඇති බවත් කැලණි ගං මෝයේ සිට මා ඔය මෝය දක්වා වූ වෙරළ කලාපය තුළ එම ද්‍රව්‍ය පා වෙමින් පවතින බවත් පෙන්වා දුන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය එම ද්‍රව්‍ය ඇල්ලීමෙන් වළකින ලෙසද දැනුම් දෙයි. නෞකාවේ පවතින ගින්න පාලනය කිරීමට සහායවීම සඳහා ඉන්දීය සහන කණ්ඩායමක් ද ඊයේ (25) යොමුකළ අතර ඒ සඳහා ටග් යාත්‍රාවක්, ඉන්දීය වෙරළ ආරක්ෂක යාත්‍රාවක් සහ ඩෝනියර් ගුවන් යානාවක් ද යොමුකර තිබුණි.

Related posts

Leave a Comment