සංචරණ සීමා ලිහිල් කළදා මහ මඟ අනතුරු 6කින් 7ක් මරුට

පොලිසිය පවසන්නේ සංචරණ සීමා ලිහිල් වූ පෙරේදා (25) දිවයින පුරා සිදු වූ මාරක රිය අනතුරු 6කින් පුද්ගලයන් 7 දෙනකු මියගොස් ඇති බවයි. එම රිය අනතුරු කැස්බෑව, මහබාගේ, පින්දෙණිය, පන්නල, ජයපුරම් සහ මහියංගණ පොලිස් බල ප්‍රදේශවල සිදු වී ඇති බව පොලිසිය පවසයි. සංචරණ සීමා පනවා දින තුනකට පසුව පෙරේදා (25) දිනයේ දී ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ගැනීම වෙනුවෙන් රජය එදින පෙරවරුවේ සිට රාත්‍රි 11 දක්වා සංචරණ සීමා ලිහිල් කරන ලද අතර වාහන භාවිත නොකර ආසන්නතම වෙළෙඳසලට ගොස් භාණ්ඩ ගන්නා ලෙස දැනුම් දී තිබියදී මෙවැනි රිය අනතුරු සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

මේ රිය අනතුරුවලින් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි වැනි කුඩා වාහනවල ගමන් කළ පුද්ගලයන් බවට පොලිසියට වාර්තා වී ඇත. මේ මාරක රිය අනතුරුවලින් මියගොස් ඇති පිරිසෙන් එක් අයකු පාරේ ගමන් කළ පුද්ගලයෙකි.සෑම විටම මාර්ග නීති සහ වේග සීමාවලට අනුගතව රිය පදවමින් මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට සහාය දක්වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටියේය. එමෙන්ම කොවිඩ් 19 මර්දනය කිරීම සඳහා ජනතාවට පීඩාවක් නොවන පරිදි කටයුතු කිරීම වෙනුවෙන් රජය ගෙන තිබූ මේ ලිහිල් කිරීමේ කාල සීමාව විහිළුවට ගෙන කටයුතු කිරීම මේ අනතුරුවලට එක් හේතුවක් බවද සදහන් කර සිටියේය.

Related posts

Leave a Comment