තරග දිනන්න බෑ – කුසල් ජනිත් කියයි

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට බංග්ලාදේශ පිල හමුවේ එක්දින තරගාවලියක් පරාජයට පත්වීමට පිතිකරුවන් වගකිව යුතු බවයි. දෙවැනි එක්දින තරගයෙන් බංග්ලාදේශය හමුවේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදයට අනුව ලකුණු 103ක අන්ත පරාජයක් අත්කර ගත් ශ්‍රී ලංකා පිල තරග 3 කින් සමන්විත තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0කින් පරාජයට පත් විය.

‘පරාජයට පත් වීම ඉතා කනගාටුදායකයි. අත්දැකීම් අඩු කමත් මේකට හේතු වුණා. තරග 2දීම අපේ මැදපෙළ පිතිකරණය බිඳ වැටුණා. මේ ගැන අපේ පිතිකරුවන් එක්ක කතා කරන්න ඕනෑ.‘ තරගයෙන් පසු කුසල් ජනිත් කියා සිටියේය. ශ්‍රී ලංකා පිල පළමු එක්දින තරගයෙන් ලකුණු 33ක පරාජයක් ලැබූ අතර, මේ තරග 2 දීම නායක කුසල් ජනිත් පිළිවෙළින් ලකුණු 30කට සහ 14කට දැවී ගියේය. පළපුරුදු පිතිකරු උපනායක කුසල් මෙන්ඩිස් රැස් කළේ ලකුණු 24ක් සහ 15ක් පමණි. ධනංජය ද සිල්වාට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 9ක් සහ 10ක් පමණි. අෂේන් බණ්ඩාර ලකුණු 3කට සහ 15කට දැවී යද්දී දසුන් ශානක ලබා ගත්තේ ලකුණු 14ක් සහ 11ක් පමණි. කුසල් සමඟ ඉනිම ආරම්භ කළ ධනුෂ්ක ගුණතිලක පළමු තරගයේදී ලකුණු 21ක් ද, දෙවැනි තරගයේදී ලකුණු 24ක් ද රැස් කළේය.

‘පිතිකරුවන් උපරිම හැකියාවන් පෙන්නුම් කළ යුතුව තිබෙනවා. ඔවුන්ට ඔවුන්ගේ පිතිහරඹ ශක්තිය ගැන විශ්වාසයක් නැත්නම් අපට ගොඩ එන්න බෑ. බය නැතිව පිත්ත හසුරුවන්න ඔවුන් දැනගත යුතුයි.‘ කුසල් ජනිත් වැඩි දුරටත් එසේ කීවේය.

අපි තවම වැඩ පෙන්නුවේ නෑ” – බංග්ලාදේශ පිලේ නායක ටමීම්

මේ අතර එක්දින තරගාවලිය දැනටමත් ජයගෙන සිටින බංග්ලාදේශ පිලේ නායක ටමිම් ඉක්බාල් තරගයෙන් පසු කියා සිටියේ තම ක්‍රීඩකයන් මෙතෙක් උපරිම දස්කම් අතරට පිවිස නොමැති බවය.

‘තරගාවලිය ජයගැනීම ගැන අතිශයින්ම සතුටට පත්වෙනවා. ඒත් මේ තරගාවලියේ අපි තවම හරියට සෙල්ලම් කළේ නෑ කියලා හිතනවා. සම්පූර්ණ ශක්තිය යොදවලා තුන්වැනි තරගයේදී මීට වඩා හොඳින් කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ තරගයේදී අපේ මැදපෙළ කඩුලු ඉක්මනින් බිඳ වැටුණා. ලකුණු 200 සීමාවට යෑම වුණත් අපහසුවෙලයි තිබුණේ. මුෂ්ෆිකුර් නිසා සෑහීමකට පත් වෙන්න පුළුවන් ලකුණු සංඛ්‍යාවක් රැස් කළා. අපේ පන්දු යවනනන් ඉතා හොඳින් පන්දු යැව්වා. පන්දු රැකීමත් තරමක් හොඳට තිබුණා. ඒත් අපි උඩපන්දු කිහිපයක් රැක ගත්තට අත ඇරපු උඩපන්දු සමහර විට තරගය වෙනස් කරන්න පවා ඉඩ තිබුණා. ඒ උඩපන්දු රැකගත්තා නම් නායකයා විදියට මට තවත් සතුටු වෙන්න තිබුණා.‘ ඔහු පැවැසීය.

Related posts

Leave a Comment