වසංගතය ඉදිරියේ යහපත් සිහියෙන් හැසිරීමේ පුරවැසි වගකීම

මේ වෙසක් සතියයි. වෙසක් සතිය යනු සිංහල අවුරුද්දටත් වඩා මිනිසුන් සංචරණය කරන කාලයකි. ඒ සංචරණය සිදු වන්නේ පවුල් පිටින් නොව කල්ලි කණ්ඩායම් පිටිනි. බසයේ, ට්‍රැක්ටරයේ හෝ ලෑන්ඩ් මාස්ටරයේ වෙහෙර වන්දනාව, තොරණ බැලීම, දන්සල් සොයා යාම ප්‍රකට කරුණුය. ඒ නිසා මේ කාලය තුළ දැඩි සංචරණ සීමා හෙවත් ගමන් තහනම් පැනවීම හොඳය. රටේ පොදු මතයක් බවට පත්ව තිබුණේ දැඩි ගමන් තහනමක් පැනවිය යුතුය යන අදහසයි. රජය ද ඒ තත්ත්වය තේරුම් ගෙන සිටිය ද වගකිව යුතු රජයකට එක් පාර්ශ්වයක් දෙස පමණක් බලා තීරණ ගත නොහැකිය. ආර්ථිකය, ජන ජීවිතය ආදී හැම දෙයක් ගැනම අවධානය යොමු කළ යුතුය. බලයට පැමිණි ආණ්ඩුවකට දේශපාලන පක්ෂයකට මෙන් දේශපාලන තීන්දු ගෙන කටයුතු කළ නොහැකිය. ඒ සඳහා නිසි දුර බලා තීන්දු ගත යුතුය. රජය මේ මොහොතේ ගත් ගමන් තහනම අගය කළ යුතු තීරණයකි. පසෙකින් එන්නත්කරණය පිළිබඳ ආණ්ඩුව වේගවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ක්‍රියාත්මකවීමේදී සුළු අතපසුතා සිදු වුවද එය වැඩපිළිවෙළක් ලෙස සාර්ථකය; එය අගය කළ යුතුය. එහෙත් එන්නත් වැඩපිළිවෙළ කෙටි කාලීන වැඩසටහනක් නොවේ. එයට අවුරුද්දකට එහා ගිය ඉලක්කයක් තිබේ. එතෙක් ජනතාව ආරක්ෂා කර ගැනීමට නම් මූලිකවම වසංගතය සුව සේවා පාලනයට ගත යුතුය. ඒ සඳහා ගමන් තහනම් හොඳ පියවරකි. එහෙත් නීති ක්‍රියාත්මක කිරීමෙන් පමණක් සියල්ල පාලනය කළ නොහැක. එහිදී ජනතාව වෙතද ලොකු වගකීමක් තිබේ. සමහරු සිතන්නේ ගමන් තහනම තිබියදී ගමන් කිරීම හපන්කමක් හෝ වීරකමක් ලෙසිනි. එහෙත් එය වීරකමක් නොවේ, මෝඩකමකි. තම තනතුර හෝ සිවිල් බලය පෙන්වා ගමන් කළ යුත්තේ අත්‍යවශ්‍ය රාජකාරියකට පමණි. මාධ්‍යවේදියකු උදාහරණයකට ගත හොත් ඔහුගේ නිල හැඳුනුම්පත අනුව ඔහුට ගමන් තහනමක් නැත. එහෙත් එම අයිතිය භාවිත කළ යුත්තේ සිය රාජකාරියට පමණි. එය මෝඩකමක් නොව බුද්ධිමත්කමකි. රාජකාරිය ඉටු කරන අතර තම පවුල හා හිතවතුන් ද රැක ගැනීමකි. මේ නියමය සැමට අදාළය.

  • සංචරණ සීමා

සංචරණ සීමා මදක් ලිහිල් කරන දිනවල ළඟම ඇති කඩයට ගොස් භාණ්ඩ මිලට ගන්නා ලෙසත් ඒ සඳහා පා ගමනින් යන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකරවයා සිදු කළ ඉල්ලීම සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතර උපහාසයට ලක්ව තිබේ. එහෙත් ඒ ප්‍රකාශය උසුළු-විසුළුවට ගත යුත්තක් නොවේ. පොලිස් ප්‍රකාශකගේ ඉල්ලීම හරිය. වාහනයක නැඟ නගරය පුරා, නැතිනම් දිස්ත්‍රික්කය පුරා රවුම්, සල්පිල් සවාරි යාමට මේ අවස්ථාව නොවේ. මේ අතිශය සරල ලෙස ජීවිතය ගැට ගසා ගත යුතු සති දෙකකි. අද මෙතරම් දුරට වසංගතය පැතිර යාමට මූලික හේතුව වූයේ බක්මහ සැණකෙළිය ජයටම සැමරීමය. එහි ප්‍රතිඵල ලෙස දවස් තිහක් තුළ මිනිස් ජීවිත හත්සියයක් පමණ අපට අහිමි වී තිබේ. ඇත්තෙන්ම කොවිඩ් යනු සෙල්ලමක් නොවේ. අති භයානක වයිරසයකි. එය සුළුවෙන් තැකූ ඉන්දියාව, අමෙරිකාව, ඉතාලිය වැනි රටවල්වල මිනිසුන් ආදාහනය වූයේ තොග ගණනිනි. එහෙත් අපට ඒ තැනට නොයාමට සුළු අවස්ථාවක් තිබේ. තාමත් වසංගතය පාලනය කිරීමට අපට හැකිය. ඒ නිසා මේ සති දෙක හෝ තුන අප එක්ව මේ අභියෝගයට මුහුණ දිය යුතුය. ආණ්ඩුව මේ මොහොතේ දැඩි පාලන නීති පනවන්නේ ජනතාව පීඩාවට පත්කර හෝ ඔවුන් සිරගතකර කුරිරු වින්දනයක් ලැබීමට නොවේ. ජනතාවගේ සහ රටේ යහපතටය. කොවිඩ් පළමු රැල්ල නියපොත්තෙන් කඩා විනාශ කළේ ජනතාව නීතිවලට අනුගතව කටයුතු කිරීම නිසාය. එහෙත් ඒ විනය සහ පාලනය ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි විය. එහි ප්‍රතිඵලය වූයේ ඔක්තෝබරයේදී නැවත මතුව ඒමය. එයට ඇතැම් පුද්ගලික ආයතන නීති නොතකමින් කටයුතු කිරීම ද ප්‍රධාන හේතුවක් විය.

  • නිරෝධායන නීති

මේ වසංගත තත්ත්වය දැඩි ලෙස බලපාන්නේ ප්‍රතිශක්තිය අඩු බෝ නොවන රෝගවලින් පෙළෙන පිරිසටය. වාර්තා අනුව මිය යන්නන්ගෙන් සියයට හැටක් මිය යන්නේ එම කුලකයට අයිති පිරිස්ය. ඒ අය එතරම් සමාජයේ ගමන් නොයන්නෝය. ඔවුන් වෙත වයිරසය ගෙන එන්නේ සමාජයේ ගමන් කරන පිරිස්ය. අනෙක් පසින් එසේ රෝගී වන බොහෝ අය මිය යන්නේ නිවෙස්වලය. එයට හේතුව රෝගය වෛද්‍යවරුන් වෙත සැල නොකර සිටීමය. එය අප කරන වරදකි. එවැනි දේ නිසා රෝගය තවදුරටත් පැතිර යාමට ඉඩ ලැබේ. එනිසා අප සියල්ලන් නිරෝධායන නීතිවලට අනුගතව කටයුතු කළ යුතුය. මන්දයත් මේ සියලු නීති ජනතාවගේ යහපතටය. අප ඒ ආකාරයට වැඩ කළ හොත් කොරෝනා නැති දවසක හවස් කාලයක මුව ආවරණ නැතිව අපට පුරුදු ලෙස හමු විය හැකිය. දැනට පනවා ඇති ගමන් තහනම ජූනි හත් වැනිදා නිමා වීමට නියමිතය. ඇත්තෙන්ම ආර්ථික අතින් අඩු පොහොසත්කමින් යුතු සමාජයකට මෙවැනි ගමන් තහනමක් දරා ගැනීම දුෂ්කරය. ආණ්ඩුව මෙතෙක් ඉන් මෙහා විසඳුම් ගැන උනන්දු වූයේ එබැවිනි. එහෙත් දැන් ගමන් තහනමක් පනවා රටම හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

  • පුරවැසි වගකීම

එය මේ මොහොතේ ගත යුතු තීරණයකි. එහෙත් ඒ තත්ත්වය ජූනි හත් වැනිදායින් පසු අවසන් කිරීමට නම් ජනතාව ඒ සදහා පූර්ණ ලෙස අනුගත යුතුය. එමඟින් පමණක් අපට සුබදායක අවසානයක් වෙත ගමන් කළ හැකිය.

මේ වන විට මෙරට පැතිර යන කොවිඩ් වයිරස ප්‍රභේද හයකි. එදා මුල් රැල්ලේ ප්‍රභේදය එතරම් සැර එකක් නොවේ. එහෙත් දැන් පැතිරෙන්නේ පරිණාමය වූ ප්‍රභේදය. එවැනි තත්ත්වයක් යටතේ මේ කොවිඩ් ප්‍රභේද පාලනයට වඩාත් තද තීන්දු ගැනීම කළ යුතුය. නිසි ලෙස මේ නීති ක්‍රියාත්මක කිරීමට නම් ජනතාව ඒ සඳහා හරියාකාරව සහාය දිය යුතුය. එසේ කිරීම මඟින් පමණක් රටට සුබදායක එළඹුමක් ඇතිකර ගත හැකිය. සති දෙකක අපේ කැප කිරීම ජීවිත කාලයටම අප ගන්නා හොඳ තීන්දුවක් වන අතර, නීති කඩමින් පොලිසියේ කනෙන් රිංගීමට කිසිවකු හෝ කටයුතු කරයි නම් ඔහු අනුවණයකි. එවැන්නෙක් දුටුවොතින් ඔහුව නීතියට හසුකර දීම පාවාදීමක් නොව නීතියට සහාය දීමකි. වසංගතය මෙල්ල කිරීමට ගන්නා උත්සාහයට සහාය දීමකි.

සමහරු නීතියට පිටින් ගොස් වෙසක් සැමරීමට හිතනවා වන්නට පුළුවන. එසේ සිතීම පවා බුදු දහමට අනුව බොදු ප්‍රතිපත්ති කඩ කිරීමකි; නැතිනම් බොදු ප්‍රතිපත්ති තේරුම් නොගැනීමකි. බුදුදහම ප්‍රදර්ශනාත්මක එකක් නොවේ. ප්‍රතිපත්ති මූලික කර ගත්තකි. එනිසා අපට වෙහෙර විහාරවලට නොගොස් නිවෙසේ සිට බොදු ප්‍රතිපත්ති ආරක්ෂා කළ හැකිය. මේ මොහොතේ බොදු බැතිමතුන් වූ ඔබගේ වගකීම වන්නේ කොවිඩ් නීති අනුව එයට අනුගතව කටයුතු කිරීමය. එනිසා අප කළ යුත්තේ නීතිය නීතියක් ලෙස නොව වගකීමක් ලෙස ගෙන කටයුතු කිරීමය. අවසාන ලෙස සඳහන් කළ හැක්කේ මේ හැම නීතියක්ම සහ සීමා කිරීමක්ම අපගේම යහපත පිණිස මිස අපව පීඩාවට පත් කිරීමට නොවන බවය.

Related posts

Leave a Comment