ඉන්දු-ශ්‍රී ලංකා එකමුතුවෙන් “පර්ල් එක්ස්ප්‍රස්” ගින්න නිවේ

  • රසායනික කාන්දුවක් තිබියදී මෙරට මුහුදු සීමාවට ඇවිත්
     විදෙස් වරායන් කාන්දුව දැන සිටියා
    – භාණ්ඩ සහ නියැදි රස පරීක්ෂකට 
    – සමාගමට එරෙහිව නීති පියවර 
    – අම්ල වැසි ඇති වීමේ අවදානමක්
    – මැරුණු මසුන් මීගමු වැල්ලට ගොඩගහලා

ඉන්දීය වෙරළාරක්ෂක බළකාය හා මෙරට නාවික, ගුවන් හා වරාය අංශ පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් මැඬ පැවැත්වීමට සමත් වී ඇත. ඉන්දීය වෙරළාරක්ෂක බළකායන්ගේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවන්ගේ අප්‍රතිහත උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඬ පවත්වා ඇතැයි මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක්ද ඊයේ (27) තබා ඇත. පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ රසායනික කාන්දුවක් තිබෙන බව දැන දැනම එය සඟවා, මෙරට මුහුදු සීමාවට පැමිණ තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ඊයේ (27) පැවසීය.

මෙය ඉතා සැලකිය යුතු කරුණක් බැවින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අදාළ අංශ සමඟ සාකච්ඡා කර නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය. එමෙන්ම ඒ සම්බන්ධව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අදාළ නැව් සමාගමට හා නැවේ කැපිතාන්වරයාට එරෙහිව කොළඹ වරාය පොලිසිය වෙත පැමිණිල්ලක්ද කර තිබේ. ඒ අනුව නෞකාවේ භාණ්ඩ සහ මුහුදේ පාවූ සාම්පල් සහ මුහුදු ජලයෙන් ගත් සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත අධිකරණ නියෝග අනුව ඊයේ (27) යොමු කර තිබිණි. මේ නෞකාවේ රසායන කාන්දුව කාර්ය මණ්ඩලය විසින් හඳුනා ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට මුහුදු සැතපුම් 1,000කට පමණ ඈතින් පිහිටි අරාබි මුහුදේදී බව නාවික පුවත් සේවයක් වාර්තා කර තිබේ.

නෞකාවේ ගින්නට හේතුව ඒ තුළ ප්‍රවාහනය කරමින් තිබූ රසායන කාන්දුවක් බව නෞකාව අයත් සිංගප්පූරු සමාගමේ විධායක අධ්‍යක්ෂ ටිම් හාට්නෝල් උපුටා දක්වමින් මේ වන විටත් මාධ්‍ය වාර්තා පළ වී තිබේ. එම රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් නිසි පරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් නෞකාවේ ගින්න හටගෙන ඇති බව අදාළ සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඒ අනුව මේ අනතුර හඳුනා ගත් අවස්ථාවේ නෞකාවේ කපිතාන්වරයා විසින් ඉන්දියාවේ හසීරා සහ කටාර් රාජ්‍යයේ හමාඩ් යන වරායන්වලට නෞකාව ඇතුළු කිරීම සඳහා අවසර ඉල්ලා තිබේ. පසුව නෞකාවේ සැබෑ තත්ත්වය සඟවමින් කොළඹ වරාය දක්වා නෞකාව යාත්‍රා කර ඇති බව කියයි.

කෙසේ වෙතත් ඉන්දියාවේ සහ කටාර් රාජ්‍යයේ වරායන්වලට මේ නැව ඇතුළු කිරීමට අවස්ථාව නොදුන් බවට පළ වන වාර්තා අසත්‍ය බව නාවුක අර්බුද සන්නිවේදන එම්. ටී. අයි. අන්තර්ජාතික ආයතනය පවසයි. මේ රසායනික කාන්දුව එම වරායන් දෙකම දැන සිටි බවද එම ආයතනය පවසයි. මේ කාන්දුව ගැන මෙරට දැනුවත් කර නොතිබීම ගැන මේ වන විට සොයා බැලීම් සිදු වන බව වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක මහතා කීවේය. මේ වන විට මේ නෞකාව සම්පූර්ණයෙන්ම හානියට පත්ව ඇති බවට අදාළ නෞකාව අයත් සමාගම විසින් පිළිගෙන ඇති බවද සඳහන්ය. කොළඹ වරායට මුහුදු සැතපුම් 9. 5ක් ඈතින් මේ නෞකාව නැංගුරම් ලා තිබේ. ඉකුත් 20 වැනිදා මේ නැව මෙරට මුහුදු කලාපයට පැමිණ තිබිණි.

ගිනි ගැනීමෙන් පසු නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය පිපිරීමකට ලක්වූ අතර, එහි තිබූ බහලුම් රැසක් මුහුදට වැටී තිබිණි. නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක්, රසායනික ද්‍රව්‍ය රූපලාවණ්‍ය සහ තවත් රසායනික ද්‍රව්‍ය ඇතුළත් බහලුම් 1,486ක් ප්‍රවාහනය කරමින් තිබී ඇත. ගින්න හට ගත් දින සිටම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ගුවන් හමුදාව එක්ව ගින්න පාලනය කිරීම සඳහා ඊ‍යේ වන විටත් උත්සාහ දරමින් සිටිති. කෙසේ වෙතත් නෞකාව සම්පූර්ණයෙන්ම ගිනි ගෙන මුහුදේ ගිලී යෑමේ අවදානම වැඩි බවත් නාවික විශේෂඥවරු පෙන්වා දෙති.

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉදිරිපස සහ මැද කොටසේ ගින්න තරමක් අඩු වී තිබුණද පසු පස කොටසේ දැඩි ගිනි තත්ත්වයක් පවතින්නේ යැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි. නෞකාව බේරා ගැනීමේ මෙහෙයුම්වල නාවික හමුදාව ඇතුළු පාර්ශ්ව අඛණ්ඩව නියැළී සිටින බවත්, පවතින කාලගුණ තත්ත්වය හමුවේ නැව බේරා ගැනීම අභියෝගයක් බවට පත්ව ඇති බවත් කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියයි. නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ බහලුම්වලින් සියල්ල මේ වන විට ගින්නෙන් විනාශ වී ඇති අතර, නෞකාව බේරා ගැනීමේ අවසන් උත්සාහය නාවික හමුදාව විසින් මේ වන විට ගෙන යමින් තිබේ.

මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා නෙදර්ලන්ත කණ්ඩායමක්ද යොමු කර තිබේ. හය දෙනකුගෙන් යුත් එම කණ්ඩායම මේ වන විට ටග් යාත්‍රාවලින් අදාළ නෞකාව වෙත ළඟා වෙමින් ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරාය සහ නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ මේ සිද්ධිය සම්බන්ධව සෑම අංශයකින්ම සොයා බලමින් පසු වන බවයි. අදාළ නෞකාවේ ඉන්ධන කාන්දු වීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වන විට කටයුතු කරමින් සිටින බවද ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පවතින ගින්න හේතුවෙන් ඉදිරියේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලට අම්ල වැසි ඇති වීමේ ඉඩ කඩක් ඇතැයි සභාපති දර්ශනී ළහඳපුර මහත්මිය පැවසුවාය.

නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව මෙහිදී පිටවී ඇති නිසා ආම්ලික වැසි ඇති වීමේ ඉඩ කඩ තිබෙන බැවින් එම වැසිවලින් සමේ ආසාදන ඇති විය හැකි බවද ඇය පැවසුවාය. එමෙන්ම වාහන වැනි ලෝහමය ද්‍රව්‍යවලින් සැකසූ දේවලට හානි විය හැකි බැවින් සැලකිලිමත් වන්නැයිද කීවාය. මේ අතර මියගිය මසුන් විශාල වශයෙන් මීගමුව වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවට තොරතුරුද වාර්තා වන අතර, නාරා ආයතනය පැවසුවේ සාමාන්‍යයෙන් මසුන් එවැනි ආකාරයට මිය ගොස් වෙරළට ගසා ගෙන එන බවයි. මේ මසුන් මිය ගොස් ඇත්තේ මුහුදට වැටුණු උරවල තිබුණු ප්ලාස්ටික් අපද්‍රව්‍ය කරමල්වල සිරවී ඔක්සිජන් සපාය ගැනීමේ අපහසුතාව නිසා දැයි අද (28) දිනයේ විශේෂ පරීක්ෂණ කරන බවද එම ආයතනයේ නිලධාරියකු පැවසීය. නාරා ආයතනය පවසන්නේ එම වෙරළ තීරවල මුහුදු යෑම නවත්වා තිබෙන බැවින් එහි මාළු වෙළෙඳපොළට නොයන බැවින් මාළු ආහාරයට ගැනීමේ අනියත බියක් ඇති කර ගත යුතු නැති බවයි.

Related posts

Leave a Comment