ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවය රැක ගැනීමේ සටනට පිවිසෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) ඩකා නුවරදී, බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ගෞවරය රැක ගැනීමේ සටනට පිවිසෙයි. තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විටත් 2-0ක් ලෙස පරාජය වෙමින් බංග්ලාදේශයට එරෙහි එක්දින තරග ඉතිහාසයේ පළමු තරගාවලි පරාජය උරුම කර ගෙන සිටින ශ්‍රී ලංකා පිලට අද තෙවැනි සහ අවසන් තරගය ජය ගැනීම අනිවාර්ය වී තිබෙන්නේ පූර්ණ තරගාවලි පරාජයකින් ගැලවීම සඳහාය. තරග 3කින් සමන්විත ද්වීපාර්ශ්වික එක්දින ක්‍රිකට් තරගාවලියන්හිදී ශ්‍රී ලංකාව 3-0කින් හෙවත් පූර්ණ තරගාවලි පරාජයන් 5ක් පමණක් ලබා ඇත්තේ රටවල් 3ක් හමුවේ පමණි. ඒ නවසීලන්තය හමුවේ තෙවරක්, ඉන්දියාවට එක් වරක් සහ මේ වසරේ මාර්තු මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ ය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර, තරග 3කින් සමන්විතව පැවැති එක්දින තරගාවලි 5කදී ශ්‍රී ලංකාව 3-0කින් ජය ගැනීමට සමත්ව ඇත. දෙපිල අතර, මේ වන විට අන්තර්ජාතික එක්දින තරග 50ක් පවත්වා ඇති අතර, ඉන් 39ක ජය ශ්‍රී ලංකාව සතුව තිබේ. තරග 9ක් බංග්ලාදේශය ජය ගනිද්දී තරග 2ක් නිමා වී ඇත්තේ ජය පරාජයෙන් තොරව ය. ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් මුල් තරග දෙක නිමා වන විටත් ලකුණු අතරට පිවිසීමට අසමත් වූ අතර, ඔවුන් අද තරගයේදී ලකුණු අතරට පිවිසීම අත්‍යවශ්‍යම කරුණකි. පසු පෙළ පිතිකරුවකු ලෙස පිටියට පිවිසි වනිඳු හසරංග පමණක් පළමු තරගයේදී අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් විය. මේ තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරුවන් අතර ඉදිරියෙන් පසු වන ඔහු තරග දෙකකදී ලකුණු 80ක් රැස් කිරීමට සමත්ව ඇත.

මේ තරග දෙකේදීම වගකීම් විරහිතව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් අපරීක්ෂාකාරී පහරවල් කරා යෑම පරාජයට හේතු විය. නව නායක කුසල් පෙරේරා පවසන්නේ පිතිකරුවන් තම පිතිකරණ ශක්තිය පිළිබඳ විශ්වාසය තැබිය යුතු බවයි. කෙසේ වෙතත් නිමා වූ තරග දෙකේදී ප්‍රබල පිතිකරුවන් වන කුසල් ජනිත් ලකුණු 44ක්, උප නායක කුසල් මෙන්ඩිස් ලකුණු 39ක්, ධනුෂ්ක ගුණතිලක ලකුණු 45ක් පමණක් රැස් කර තිබේ. සංචිතයේ ඉතිරිව ඇති ක්‍රීඩකයන් අතුරින් පළපුරුදු පිතිකරුවකු වන්නේ නිරෝෂන් දික්වැල්ල පමණි. එහෙත් කඩුලු රකින ක්‍රීඩකයන් දෙදෙනකු අවසන් කණ්ඩායමට එක් නොවන බැවින් ඔහුට අවස්ථාව හිමි නොවීය. දසුන් ශානක, ධනංජය ද සිල්වා, පැතුම් නිශ්ශංක සහ අෂේන් බණ්ඩාරගේ පිති තවමත් ක්‍රියාත්මක වී නැත. එබැවින් අද තරගය ජය ගැනීමේ වගකීම පැවරී ඇත්තේ ශ්‍රී ලංකා පිතිකරුවන්ටය. නිමා වූ තරග ද්විත්වයේදීම පන්දු යවන්නන් සාර්ථකත්වයට පත්ව තිබිණි.

පළමු තරගයේදී බංග්ලාදේශ පිතිකරුවන් තිදෙනකු අර්ධ ශතක වාර්තා කළ අතර, එය දෙවැනි තරගයේදී ශතකයට සීමා විය. එම තරගයේදී ලකුණු 25 ඉක්මවිය හැකි වූයේ බංග්ලාදේශ පිතිකරුවන් තිදෙනකුට පමණි. එහෙත් ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වූයේ ධනුෂ්ක ගුණතිලක රැස් කළ ලකුණු 24යි. බංග්ලාදේශ නායක ටමීම් ඉක්බාල් දෙවැනි තරගයෙන් අනතුරුව පවසා තිබුණේ සිය ක්‍රීඩකයන් උපරිම දස්කම් අතරට පිවිස නැති බවත්, අවසන් තරගයේදී සිය කණ්ඩායම සම්පූර්ණ ශක්තිය යොදා ක්‍රීඩා කරන බවත් ය.

මේ අතර, තෙවැනි තරගය සඳහා වන සංචිතය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පසුගියදා ප්‍රකාශයට පත් කළේය. කෙසේ වෙතත් එහිදී මුල් තරග දෙක සඳහා නම් කළ 15 දෙනකුගෙන් සමන්විත සංචිතයෙන් ක්‍රීඩකයන් ඉවත් කර නැති අතර, නයීම් ශෙයික් සංචිතයට කැඳවා තිබේ. දෙවැනි තරගයේදී පන්දුවක් හිසේ වැදීමෙන් ආබාධයකට ලක් වූ මොහොමඩ් සයිෆුඩීන්ට අද තරගයේ ක්‍රීඩා කළ හැකි වනු ඇතැයි බංග්ලාදේශ බලධාරීන්ගේ අපේක්ෂාව වී තිබේ.

මේ තරගාවලිය අයිසීසී එක්දින ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියට ඇතුළත් වන අතර, තරගාවලියේ මුල් තරග 2 ජය ගැනීමත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට බංග්ලාදේශය සමත්ව ඇත. තරග 5ක් ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව සියලු තරග පරාජය වී 12 වැනි තැන සිටී. කොදෙව් සංචාරයේදී හිමි වී දඬුවම් ලකුණු හේතුවෙන් ඝෘණ ලකුණු 2ක් ලබා සිටින ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින්නේ නෙදර්ලන්තයට පමණි. එම කණ්ඩායම තවත් මේ ශූරතාවලිය යටතේ තරග කර නැත. මේ හේතුවෙන් 2023දී ලෝක කුසලාන තරගාවලියට එක්වීම සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියකට එක්වීමේ අවදානමකට ද ශ්‍රී ලංකා පිල මුහුණ දී සිටී.

බංග්ලාදේශය මේ වන විට තරග 8කින් 5ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 50ක් හිමි කර ගෙන ඇති අතර, දෙවැනි තැන පසුවන එංගලන්තය තරග 9කින් 4ක් ජය ගෙන ලකුණු 40ක් ලබා සිටී. ශ්‍රී ලංකා සංචිතය – කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, දසුන් ශානක, අෂේන් බණ්ඩාර, වනිඳු හසරංග, ඉසුරු උදාන, අකිල ධනංජය, නිරෝෂන් දික්වැල්ල, දුෂ්මන්ත චමීර, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු.

බංග්ලාදේශ සංචිතය – ටස්කින් අහමඩ්, මුස්ටෆිසූර් රෙහ්මාන්, සෞමියා සර්කාර්, මොසැඩෙක් හුසේන්, මහෙදි හසන්, ෂොරිෆුල් ඉස්ලාම්, නයිම් ශෙයික්, ටමීම් ඉක්බාල් (නායක), ලිටන් දාස්, ශකිබ් අල් හසන්, මුෂ්ෆිකූර් රහීම්, මොහොමඩ් මිතුන්, මහමුදුල්ලා, අෆිෆ් හුසේන්, මෙහෙදි හසන් මිර්සා, මොහොමඩ් සයිෆුඩීන්.

Related posts

Leave a Comment