කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ධීවරයන්ට අවවාද

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රට වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශයන්හි ධීවර හා නාවුක කටයුතුවල යෙදෙන පුද්ගලයන් සඳහා අද (28) පස්වරුව දක්වා වලංගු වන පරිදි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ. කි. මී. 40-50 වන අතර, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ. කි. මී. 60-70 දක්වා වැඩි විය හැක. එමෙන්ම මේ මුහුදු ප්‍රදේශය විටින් විට ඉතා රළු වේ. එම නිසා ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන අදාළ පාර්ශ්වයන් ඒ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන මෙන් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

අද (28) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව පළාත්වලට සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි. මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැක. ඌව පළාත, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයන්හි ස්ථාන ස්වල්පයකට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ. කි. මී. 30-40 දක්වා වැඩි විය හැකි අතර, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ. කි. මී. 50 දක්වා වැඩි විය හැකිය.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 6ක් සඳහා ඊයේ (27) සවස 5.00 සිට අද (28) සවස 5. 00 දක්වා නාය යෑමේ අවදානම් නිකුත් කර තිබේ. නාය යෑමේ අවදානම් ඇති දිස්ත්‍රික්ක ලෙස ගාල්ල, කළුතර, නුවර, කෑගල්ල, නුවරඑළිය, රත්නපුර නම් කර තිබේ.

Related posts

Leave a Comment