මහ කන්නයේ කාබනික පොහොර හිඟයකින් තොරව ගොවීන්ට දෙන්න – ජනපති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙමින් කියා සිටියේ මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවීන්ට දීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙසයි. ඒ සඳහා සියලු අංශ සම්බන්ධ කර ගත් පුළුල් යන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කළේය. නීරෝගි සහ ඵලදායි පුරවැසියකු බිහි කිරීමට වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් තහවුරු කර තිබෙන අතර, එය යථාර්ථයක් බවට පත් කිරීම උදෙසා මෙරට කෘෂි කර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අරමුණයි. අනාගත දරු පරපුරේ යහපත උදෙසා ගනු ලබන මේ උත්සාහයේදී ගොවියාට අපහසුතාවක් නොවන පරිදි ඉලක්ක සපුරා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඒ වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවිය යුතු බවත් නිෂ්පාදනය කෙරෙන පොහොර ප්‍රමාණය කෙරෙහි සෑහීමකට පත් නොවන්නේ නම් ඉහළම ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණයට ආනයනය කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සහ කාබනික පොහොර නිෂ්පාදකයන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී රාජපක්ෂ මහතා විසින් මේ උපදෙස් දෙනු ලැබිණි. කන්න කිහිපයක් ඇතුළත කෘෂිකර්මාන්තයට අවශ්‍ය සමස්ත කාබනික පොහොර ප්‍රමාණය මෙරටදීම නිෂ්පාදනය කළ හැකි බව පොහොර නිෂ්පාදකයෝ පවසති. රසායනික පොහොර ගෙන්වීමට වාර්ෂිකව රජය විශාල මුදලක් වැය කරන බව පැවසූ ජනාධිපතිවරයා එම මුදල කාබනික පොහොර නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා යෙදවිය හැකි බවද ප්‍රකාශ කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා පියවර රැසක් ගෙන ඇති බව සාකච්ඡාවේදී අනාවරණය කෙරුණු අතර, ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අඩු පොලියට ණය පහසුකම් සැපයීමට රාජ්‍ය බැංකු ඉදිරිපත්ව සිටී. කාබනික පොහොර භාවිතය සඳහා දිස්ත්‍රික් මට්ටමින් කෘෂිකර්ම උපදේශකවරුන් සහ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් දැනුම්වත් කිරීමට සැලසුම් කර තිබේ. දිවයිනේ සියලු ප්‍රදේශවල නිෂ්පාදනය කරන කාබනික පොහොර, ජාතික පොහොර ලේකම් කාර්යාලය මඟින් මිලදී ගැනීමටත්, වී ඇතුළු වෙනත් භෝගවලට අනුව පොහොර බෙදා දීමට අවශ්‍ය යන්ත්‍රණයත් සකසා අවසන් බව විෂය භාර ඇමැතිවරු පෙන්වා දුන්හ. මහ කන්නයට පෙර, ග්‍රාමීය මට්ටමින් පස පරීක්ෂා කර යෙදිය යුතු පොහොර ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් ගන්නැයි ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිණි.

ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය ඇමැතිවරුන් වන මොහාන් ද සිල්වා, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජනාධිපති ලේකම්පී . බී. ජයසුන්දර යන මහත්වරු, විෂය භාර අමාත්‍යාංශ ලේකම්වරු සහ කාබනික පොහොර නිෂ්පාදකයෝ මේ අවස්ථාවට එක්ව සිටියේය.

Related posts

Leave a Comment