හෙට සහ අනිද්දා ආර්ථික මධ්‍යස්ථාන විවෘතවේ

තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ සිල්ලර වෙළෙඳුන්ට සහ ජංගම වෙළෙඳුන්ට භාණ්ඩ මිලදී ගැනීම සදහා 30 සහ 31 දෙදින තුළ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට තීරණය කර ඇති බවයි. අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධයෙන් පෙරේදා (27) අරලියගහ මන්දිරයේ පැවති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමින් ඇමැතිවරයා එසේ කියා සිටියේය. මේ සාකච්ඡාව සඳහා කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රසක් රැසක් සහභාගි වූහ. දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ යන්ත්‍රණයක් සකස් කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. සංචරණ සීමා තහනම අඛණ්ඩව ක්‍රියාත්මක වේ යැයි බියෙන් ජනතාව බඩු එක් රැස් කර ගෙන තබා ගැනීම හේතුවෙන් ජංගම වෙළෙඳුන්ට ආදායම් නොමැති වීම සම්බන්ධයෙන්ද මේ සාකච්ඡාවේදී අවධානය යොමු විය.

එමෙන්ම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම බේකරි නිෂ්පාදන ආයතන ජංගම අලෙවි සේවාවන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවද මෙහිදී ඇමැති නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය. සිල්ලර වෙළෙඳසල් හිමියන් සඳහා භාණ්ඩ මිලදී ගැනීමට එම දෙදින තුළ ආර්ථික මධ්‍යස්ථාන හා තොග වෙළෙඳසල් විවෘතව තබන බවද මේ සාකච්ඡාවේදී අවධාරණය කළේය. කොරෝනා වසංගත සමඟ සංචරණ සීමා පැනවීමත් එමඟින් ජනතාවට තම ආදායම් අහිමිවීමත් හේතුවෙන් ජනතාව වෙත සහනාධාර දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර ඇති බවද මෙහිදී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Related posts

Leave a Comment